Archive

Archive for March, 2011

තමා ගැන ම කළ තක්සේරුව………………

මේ සිදුවීම ඉතා ඈත කාලයට අයිති ය. ඒ ලෝකය මැවූ මුල් ම කාලය යි. එකල නිරේදක් නමැති මිනිසෙක් විසී ය. ඔහු සිය සිරුරු ප‍්‍රමාණයෙන් ඉතා කුඩා විය. මීයකු ගේ සමින් කළ කබායක් හැඳ සිටි හෙතෙම ඉතා උඩඟු මිනිසෙකි. ඔහුට යහපත අයහපත පෙන්වා දීමට කිසිවෙක් නොසිටියේ ය. ඒ ඔහු කිසිවකු නොතැකූ බැවිනි. ඔහු සිතුවේ ම තමා මෙලොව ශක්තිමත් ම සත්ත්වයා ලෙස ය. එනිසා ම ඔහු ලොව ශක්තිමත් ම යෝධයන් විසූ දේශයක සංචාරය කිරීමට තීරණය කෙළේ ය. ඔහු ගේ අරමුණ ඉටු විණි. යෝධයන් ගේ දේශය ඔහුට සොයාගත හැකි විය. එහි පිවිසි ඔහු තමා හමුවට ආ පළමුවැනි යෝධයාට තර්ජනය කරන්නට විය. ”මා නුඹ මරා දමනවා. පරිස්සම් වෙයන්!” තමා ඉදිරියේ ගිරිය යටින් කෑ මොර දෙන කුඩා සත්ත්වයකු දුටු යෝධයා මහ හඩින් සිනා පා මේ සත්ත්වයාට නොරිදෙන සේ ඇඟිලි තුඩින් ඔහු ඔසොවා සිය නිය අග තබා ගති. තවත් කිහිප වරක් කෑ මොර දුන් නිරේදක්, යෝධයා ගේ ඇඟින් බිමට පැන ඈතට දිවගොස් මෙසේ කියා නොපෙනී ගියේ ය. ”මේ වාරයේ නුඹ බේරුණා. ඊළඟ පාර මරනවාමයි. පරිස්සම් වෙලා හිටපං” මෙලොව වසන රූමත් ම කත හා තමා විවාහපත් විය යුතු යැයි මීළඟට උද්දච්ච නිරේදක් තීරණයකට පැමිණ තිබිණි. කෙසේ හෝ ඔහු අතිශය පියකරු යුවතියක සරණ පාවා ගත්තේ ය. එහෙත් ඈට ඇතුළු වන්නට පවා ඔහු ගේ කූඩාරම ඉඩ මදි විය. ඔහු ඈ වෙනුවෙන් පිළියෙළ කළ නව කූඩාරම අහස තරමේ විසල් එකකැ යි ඔහු සිතුවේ ය. මේ විවාහයෙන් පසු ඔහුට වෙනදාට වඩා වෙහෙස මහන්සි ව වැඩ කරන්නට සිදුවූයේ, සිය බිරියට ඇවැසි ආහාරපාන සපයා දීම සඳහා ය. ඔහු කන්දක් තරමේ මාළුන් ප‍්‍රමාණයක් බිලී බෑ විට, බිරිය එයින් සූපයක් පිළියෙළ කොට තමා ම පානය කොට තවමත් ඈ කුසගින්නේ බව කීවා ය. අවසානයේ මේ කුඩා උඩඟු මිනිසා හැර දමා යෑමට ඈ තීරණය කළ විට නිරේදක් මෙලොව තනි විය. එහෙත් ඔහු තමා මෙලොව බලවත් ම මිනිසා සේ තමා ගැන ම කළ තක්සේරුව පසු ව කිසිදා හුදෙකලා වූෙය් නැත.

Categories: Uncategorized

රන් පැහැය

පාත්තයකුට සහ තාරාවකුට දිනක් වල් වැලි කුකුළකු මුණගැසිණි.

”අප සමඟ දකුණු පළාතට පියාඹා යමු. එහෙම නැතිනම් ශීත කාලයේ දී නුඹට මෙහි කුසගින්නේ මියැදෙන්නට සිදුවේවි” ඔවුහු වැලිකුකුළාට කී හ.

එහෙම බෑ. මං එහෙම කළොත්, මෙහෙ මිනිස්සුන්ට කරදර වේවි.”

”මෙහෙ අයට මුකුත් වෙන්නේ නෑ. එහෙම නොකොළොත් අපටයි බඩගින්නෙ මැරෙන්න වෙන්නේ.

මෙහෙ මිනිස්සුන්ට අපි නැතිවට පාඩු නෑ. ඒ අයට පුළුවන් මාළුන් ගෙන් යැපෙන්න. මාළු ශීත කාලෙට වුණත් කොහෙවත් යන්නෙ නෑ. විල්වලට ම වෙලා ඉඳීවි.”

”ඒත් සීත තද වුණාම හැම ගංගාවක්ම විලක්ම මිදෙනවා. එහෙම වුණාම මාළු අල්ලන්න බැරිව යාවි. මාත් ගියොත් මිනිස්සුන්ට වෙන්නෙ එහෙම පිටින්ම හාමත් වෙන්න.”

”ඊට කලින් නුඹ හාමතේ මියැදේවි”

”නෑ මං කොහොම හරි, මොනව හරි කාලා ජීවත්වෙන්නම්” වැලිකුකුළා දිගින් දිගට ම මේ අදහසට එරෙහි වූයේ ය.

”නුඹ කැමැත්තෙන් නාවොත්, අපි බලෙන් නුඹ ගෙනියනවා.” පාත්තයා ද තාරාවා ද ඌ බලෙන් මෙන් අල්ලා ගෙන ඇදගෙන යෑමට පටන් ගත් හ.

ඒත් වැලිකුකුළා මෙවිට කෙතරම් තදින් හඬමින් මොර දෙන්නට වී ද යත් උගේ දෑස් ඉහළින් වූ පිහාටු වටය රත් පැහැයට හැරිණි.

ඒ දුටු පාත්තයා ද තාරාවා ද ඌ අතහැර දමා දකුණු දෙසට යෑමට පිටත් වූ හ.

එහෙත් සිය මාංශය මිනිසා වෙත පුද දීමට තීරණය කළ වැලිකුකුළා ගේ දෑස මත රත් පැහැය එතැන් පටන් සදාකාලික ව ම ශේෂ වූ බව කියැවේ.

Categories: Uncategorized

ද්වේශය……….

කුඩා මීයෙක් දිනක් වනයේ තණකොළ අතර ඇවිදිමින් කල්පනාබර ව කල් ගෙවමින් උන්නේ ය. එවිට එක්වර ම වනය මැදින් හමා ගිය මහා සුළඟකින් බියට පත් මේ කුඩා සත්ත්වයා පඳුරක් මැදට රිංගා ගති.

මෙසේ සිටිනා විට එතැනට ගෝනෙක් පැමිණියේ ය. ගෝනා දැඩි කුසගින්නෙන් යුතු විය. ඔහු නොනවත්වා තණ උලාකමින් සිටිනා’තර තමා නොදැනුම්වත් ව ම ඒ තණ සමඟ මීයා ද ගිල දමා තිබිණි.

මෙයින් මීයා මහත් සේ  ද්වේශයට පත් විය. ඒකා ගෝනා ගේ කුස තුළ හිඳිමින් මෙසේ ගෝරණාඩු කරන්නට විය:

”මං නුඹේ බඩ කපාගෙන එළියට එනවා” මෙවිට ගෝනා මීයාට පින්සෙන්ඩු විය:

”නුඹ මගේ බඩ කපන්නට එපා. මගේ කටින් එළියට වරෙන්”

එහෙත් කුඩා මීයා ඊට නොකැමැති විය.

”බැහැ නුඹේ කට පිරිසුදු නෑ”

”එහෙනම් නහයෙන් එළියට වරෙන්”

”බැහැ. ” මීයා ගෝනා ගේ ඒ යෝජනාව ද පිළිගත්තේ නැත.

”එහෙනම් මගේ කන් සිදුරුවලින් එළියට වරෙන්. මා කපා මරා දමන්නට නම් එපා” ගෝනා ද දිගින් දිගට ම ඇවිටිලි කරන්නට විය.

”බැහැ. බැහැ. නුඹේ කන්වල කලාඳුරු පිරිලා. මගේ ඇඟ ජරා වේවි”

අවසානයේ දී ගෝනාට සිදුවූයේ නිහඬ වන්නට යි. මීයා ගෝනා ගේ කුස නො ව උගුරු දණ්ඩ ම කපා පිටතට පැමිණි විට ගෝනා තවදුරටත් මෙලොව ජීවත් ව සිටියේ නැත.

ද්වේශයෙන් මැඩී ගිය විට පළිගැනීමට ම මිස වෙනත් මඟකට සිතක් යොමු නොවන හැටි!

ද්වේශයේදී පළිගන්න එපා…….

Categories: Uncategorized Tags: , , ,
Follow

Get every new post delivered to your Inbox.