සිය ශ‍්‍රමය වැපිරීමෙන් මහත් දුක සේ ජීවත් වන දිළිඳු පුරුෂයෙක් විය. මේ පුරුෂයා ගේ දුක්මුසු බව දුටු ධනවතෙක් ඔහු සිය මන්දිරය වෙත කැඳවා ගෙන, එහි දී ඔහු විසින් කරනු ලබන සියලු කටයුතු වෙනුවෙන් යහපත් ගෙවීමක් ලබා දීමට එකඟ විය.
එහෙත් මේ එකඟ බව වචනවලට පමණක් සීමා වූ බව කල්යත් ම පෙනෙන්නට විය. දිළින්දා වෙහෙසෙයි. එහෙත් පඩි නො ලැබේ.
මෙසේ කලක් ගත විය. ධනවතා තව තවත් ධනවත් වන සේ පෙනේ. දිළින්දා තව තවත් දිළිඳු විය. ඔහුට මේ මහා මන්දිරයේ කටයුතු බහුල විය. ධනවතා ගේ බිරිය ද ඔහුට වැඩ පවරන්නට වූවා ය.
එහෙත් මේ දිළිඳු පුද්ගලයා දිළිඳු නමුත් දුර්වලයෙක් නො වේ. ඔහුට මේ කටයුත්ත තිත්ත විය.
මේ මන්දිරය අසල විසල් වනයක් තිබිණි. දිනක් දිළින්දා මේ වනය වෙත යෑමට තීරණය කෙළේ ය. ‘මාගේ දෛවය වෙනසකට බඳුන් කළ යුතුයි. හැමදාම මේ විදියට අසාධාරණකම් ඉවසන්නට බැහැ.’ ඔහු සිතී ය.
දැන් ඔහු වනයේ ඉබාගාතේ යයි. එක්වර ම ඔහු ඉදිරියට වළසෙක් පැමිණෙමින් සිටියි. මේ පුරුෂයා ශක්තිමත් ය. උපක‍්‍රම ද දනී.
ඔහු උපක‍්‍රමයෙන් ම වළසා අල්වා ගෙන, මහ මැදුර වෙත රැගෙන ගියේ ය.
වළසා දුටු ධනවතා ද ඔහු ගේ බිරිය ද භ‍්‍රාන්තියට පත් වූහ. දෙදෙනා එකෙකා වැළැඳ ගෙන වෙව්ලන්නට වූහ.
”ඇයි මේ වළහෙක්” දිව ගැටගසා ගැනීමට තරම් ශක්තියක් ලද විට ධනවතා ඇසී ය.
”නිකං. ආසාවට. අද පටන් මා සමඟ මෙහි වාසයට රැගෙන ආවා.”
”ඕනෑ ම දෙයක් කරන්නම්. ඕකා නිදහස් කරපං.” ධනවතාගෙන් ඉල්ලීමකි.
”හොඳයි නිදහස් කරන්නම්. මා මෙතෙක් කළ වැඩ සඳහා මෙන්ම තවත් ඉදිරියට වසර දහයකට පඩි මුදල් ගෙවූ විට මං වළහාවත් අරන් යන්නම්.”
ඒ ඉල්ලීම ඉටු විණි. අවසානයේ දී ධනවතා යස පාඩමක් ඉගෙන ගත්තේ එසේ ය.
Categories: Uncategorized
ගම්මානයක එක අනාථ දැරියක් දිවි ගෙව්වා ය. ඈ හදා වඩා ගත්තී දුෂ්ට ගැහැනියකි. ඒ ගැහැනිය මේ දැරිවි ලවා ඇගේ නිවෙසේ කුදු මහත් සියලු කටයුතු ඉටුකරවා ගත්තී ය.
ඈට ද දියණියෝ තිදෙනෙක් වූහ. පළමුවැනි දියණියට හිමි ව තිබුණේ එක් ඇසක් පමණි. දෙවැන්නිය දෙඇසක් හිමිකරගෙන සිටියා ය. තෙවැන්නියට ඇස් තුනකි. තිදෙනා ම නපුරියෝ ය. අම්මා වාගේ ම ය.
අනාථ දැරිවි ගේ එක ම හිතවතා එනිවෙසෙහි ගව දෙනයි. ඈ සිය සියලු දුක් කරදර ගවදෙනට කීවා ය. ගවදෙන ඈට අනුකම්පා කොට ඇගේ සියලු කටයුතුවලට උපකාර කළා ය. මෙයින් දැරිය ගේ සිතට සැනසීමක් දැනිණි.
”මැගේ වැඩවලට උපකාර කරන්නේ කවුරුන්දැයි සොයාපල්ලා. ඈ සතුටින් ඉන්නා බව පෙනෙනවා. ඊට ඉඩදිය යුතු නැහැ” දියණිවරුන් ගේ මවු සිය දරුවන්ට අණ කළා ය.
ඔවුහු අනාථ දැරිය පිළිබඳ සොයා බැලීම් ඇරැඹුහ. ඔවුනට ඇගේ රහස දත හැකි විය. ගවදෙන ගැන සියලු තොරතුරු ඔවුහු සිය මවුට දැන්වූහ.
”අපි මේ ගවදෙන මරා මස් කරමු” මවු සිය සැමියාට කීවා ය.
සැමියා ද යෝජනාවට කැමැති විය.
අනාථ දැරිය ගවයා වෙත දිව ගියා ය. ඈ ඒකා වැළැඳගෙන මහ හඬින් වැලැපෙන්නට වූවා ය. ගවදෙන ද හඬන්නට විය. කඳුළු අතරින් ඒකා මෙසේ කීය: “සියලු දෙනා මගේ මස් කාවි. නුඹ නොකා හිටපං. මගේ ඇටකටු ගෙමිදුලේ වළ දාපං”
අනාථ දැරිය ගවදෙන කී ලෙස ම කළා ය.
ඈට කෙතරම් දරුණු කුසගින්නකින් පෙළෙන්නට සිදු වුව ද ඈ ගව මස් නම් නොකෑවා ය. ඈ හඬා වැටෙමින් ගවදෙන ගේ ඇට වළ දැමූ තැන අපූරු ඇපල් ගසක් වැඩිණි.
ඒ ගසෙහි ඵල ද පත්‍ර ද රන්වන් ය. දිවා කල මෙන් ම රාත්‍රියේ දී ද ඒවා බැබැළිණි.
මේ ගස එරට ප්‍රකට විය. ඉතා ධනවත් කුමාරයෙක් වරක් මේ ගස නරඹන්නට ආවේ ය.
ඔහුට ගස අසල සිටි තරුණියන් සිව්දෙනා පෙනිණි. එයින් දක්ෂතම එකිය සිය මනමාලිය ලෙස තෝරාගත යුතු යැයි ඔහු තීරණය කෙළේ ය.
”මේ රාජ ඇපල් ගෙඩියක් නෙළා මට මුලින් ම දෙන්නේ කවුරුන්දැයි බලමු. ඒ කවුරුන් වුවත් මා ඈ මගේ කුමාරිය ලෙස තෝරා ගන්නවා.” ඔහු කියා සිටි විට අනාථ දැරිය හැර අන් තිදෙන වහා ඇපල් ගසට ළංවූහ.
එහෙත් ඔවුන් ළං වූ සැණින් ඇපල් අතු උඩට එසැවිණි. ඇපල් ගෙඩි අහස තරම් ඉහළට නැඟිණි. ඔවුහු ද ඉහළට ම පැන්නාහ. එහෙත් ඵලක් වූයේ නැත. ඇපල් ගස සිය එකදු ඵලයක් වත් ඔවුන් අතට පත් කෙළේ නැත.
එහෙත් අනාථ දැරිය ගස වෙත ළංවූ සැණින් සියලු ඵල ද අතු ද ඈ වෙතට ම නැවිණි. ඈ එයින් ප්‍රථම ඵලය නෙළා ගත්තා ය.
Categories: Uncategorized
කියවපු අය හිතන දේවල්..