ශ්‍රී ලංකාවේ පුරාණ වාරි කර්මාන්ත

822පණ්ඩුකාභය රජතුමා අනුරාධගාමයෙහි අගනගරයට අවශ්‍ය ජල පහසුකම් ඇතිකරනු වස් ජය වාපි, අභය වාපි සහ ගාමිණි වාපි නමින් වැව් තුනක් ද නිර්මාණය කල බව සදහන්වේ.

ප්‍රාග් බෞද්ධ සමයේදි වාරි කර්මාන්තය මත සකස්වු ශිෂ්ටාචාරය අංග සම්පුර්ණත්වයට පත්වන්නේ ක්‍රි.පූ. 3 වන සියවසේදි රජ කල දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලයේදීය. ක්‍රි.පූ. 3 වන සියවසේදි දේවානම් පියතිස්ස රජතුමා විසින් තනන ලද තිසා වැව 1889 දි ප්‍රතිසංස්කරණය කොට තිබේ. තිසා වැවේ දැනට දක්නට ලැඛෙන වේල්ලේ දිග සැතපුම් 1 3/4 කි. වැව පිරුණු විට අක්කර අඩි 2900 ක ජලය රදාපවති. අක්කර 2000 ක පමණ ප්‍රමාණයක වී වගාව සඳහා මේ වැවෙන් ජලය ඛෙදා හරියි.

පණ්ඩුකාභය රජු විසින් සාදන ලද අඩි 3900 ක් දිගැති වේල්ලකින් වටවි ඇති බසවක්කුලම වැව අක්කර අඩි 1900ක ක ජල කඳක් රදවා තැබිය හැක. තිසා වැවෙන්ද මේ වැවට ජලය ලැබේ.

අනුරාධපුර නගරයේ පිහිටා ඇති ප්‍රධාන වැවක් වනුයේ නුවර වැවයි. මෙහි නිර්මාණයද ක්‍රි.පු. යුගය දක්වා දිවේ. මෙය පළමුවන ගජබාහු රජුගේ (ක්‍රි.ව. 1114-1136) කාලයේදි තනවන ලදැයි සැලකේ. මේ වැව නකරවඩි, පත්තපාසානවාපී නමින්ද හඳුන්වනු ලැබේ.

ක්‍රි.පු. 3 වන සියවසේදි මහා නාග උප රාජ වරයෙක් කරච්ච නම් (වලස් වැව) කුඩා වැවක් තැනවීම ගැන මහා වංශයේ සඳහන් වේ. දුටු ගැමුණු රජුගේ යෝධයෙක් වශයෙන් සැලකෙන ලභිය වසභ වැව් තැනිම ගැන ප්‍රසිද්ධියක් ඉසිලූ කෙනෙකි.

වාරි ශිෂ්ටාචාරය පිළිබඳව ඛෙහෙවින් වැදගත් යුගය වශයෙන් දැක්විය හැක්කේ ක්‍රි.පු. 2 වන සියවසේදි රජ කල දුටු ගැමුණු රජුගේ අවධියයි. ක්‍රි.පු. 3 වන සියවසේ සිට දිවයින පුරා පැතිරි පිහිටා ඇති ලෙන්වල කටාරම් යටින් කොටා ඇති බ්‍රාග්මී ලිපිවල වැව් ගැනත් ඇල මාර්ග ගැනත් සදහන් වීමෙන් මේ බව පැහැදිලිවේ.

වැව් තැනිම ගැන ප්‍රවීනත්වයක් දැරූ පුද්ගලයෙක් ගැන දඹුල්ලෙන් හමුවු ලිපියකින් අනාවරණය වේ. පරණවිතාන සදහන් කරන අන්දමට එහි සදහන් වන ධනුද්ධර සුමනගේ සොහොයුරු අණනිකතිස නම් තැනැත්තා වාරිමාර්ග ඉංජිනේරුවෙක් වශයෙන් සදහන් කොට තිබේ.

ක්‍රි.පූ.2 වන සියවසට අයත් යැයි සැලකෙන සෙල්ලිපි දෙකක වාරිමාර්ග ගැන සදහන්වේ. ඉන් පළමු වැන්න දුටුගැමුණු රජුගේ කාලයට (ක්‍රි.පු. 161-137) අයත් යැයි සැලකෙන පුත්තලම් දිස්ත්‍රික්කයේ නෝනිගලින් හමුවු ලිපියකි. එහි පරමානන්ද විහාරයට පුජාකල වැවක් ගැන දැක්වේ. දෙවැන්න ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නාච්චේරිමලෙයි නම් ස්ථානයකින් හමුවු ලිපියක අඩගමිය නම් ස්ථානයෙහි පිහිටි වාරිමාර්ගයක් ගැන සදහන්වේ.

සද්ධාතිස්ස රජතුමා (ක්‍රි.පු. 137-119) වැව් 12ක් ඉදිකල බව පුජාවලියේ සදහන් වන අතර රාජාවලිය වැව් 18ක් තනවන ලද බව දැක්වේ. පදී වැව (පදවිය වැව) සද්ධාතිස්ස රජු විසින් කරවන ලදැයි පූජාවලිය පෙන්වයි. වසභ රජතුමා විසින් වැව් 11ක් තනවන ලදැයි වංශ කතාවල සදහන් වන අතර වෙනත් කෘති වල වැව් 12ක් තනවන ලදැයි කියෙ‍වේ. වැව් වලට අමතරව ඇල මාර්ග 12ක් තනා තිඛෙන බව පවසතත් ඉන් නම් කොට ඇත්තේ ඇළහැර යෝධ ඇල පමණි.

පළමු වන ජෙට්ඨතිස්ස රජු ( ක්‍රි.ව. 266-276) විසින් හෙළුග්ගමු, මහටඹු, දෙමැටැ, පිසත්තා, වඩුගමු හා බමුණුගමු වැව් හය කරවන ලදි. මහසෙන් රජතුමා (ක්‍රි.ව. 274-304) විශාල පරිමාණයේ වැව් තැනිමේ පුරෝගාමියා වශයෙන් සැලකිය හැකිය. ඔහු විසින් තනවන ලදැයි දැක්වෙන වැව් 16ක් ගැනද මහ විශාල ඇළ මාර්ගයක් ගැනද මහාවංශයේ සඳහන්වේ. ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ නව යුගයක් උදා කෙරෙන වාරි ව්‍යාපාරයක් වශයෙන් ඇළහැර-මින්නේරිය, කවුඩුල්ල වාරි ව්‍යාපෘතිය හැදින්විය හැක.

මහසෙන් රජු මෙන්ම ධාතුසේන රජුද කලා වැව නමින් තැනු විශාල වැව නිසා වාරිමාර්ග ඉතිහාසයේ අද්විතීය ස්ථානයක් ලබා ගෙන ඇත. කලා වැව වැව් දෙකක් සම්බන්ද කොට නිර්මාණය කල විශාල වැව් සංකීර්ණයකි. මෙය කලා වැවත් බළලූ වැවත් එකට සම්බන්ධ කොට තනන ලද බව පුජාවලියේ සදහන්වේ. කලා වැවේ සිට අනුරාධපුරයේ තිසා වැව දක්වා ජලය ගෙනගිය සැතපුම් 54ක් දිගැති ජය ගඟ නැමැති මහා විශාල ඇළ මාර්ගය තනවන්නට ඇත්තේද මේ යුගයේදිම යැයි සිතාගත හැකිය.

දෙවන මුගලන් රජු (ක්‍රි.ව. 531-551) මල්වතු ඔය හරහා වානක් බැඳ ජලය ලබා ගෙන පත්තපාෂාණ වාපි, ධන වාපි හා ගරිතර වාපි යනුවෙන් වැව් තුනක් නිර්මාණය කළ බව මහා වංශයේ සඳහන්වේ. පත්තපාෂාණ වාපිය ශිලා ලේඛන මගින් අනුරාධපුරයට සැතපුම් 7ක් නිරිත දිගින් පිහිටි නාච්චිදූව වැව වශයෙන් හඳුනාගෙන ඇත. මෙහි වේල්ල සැතපුමකට මදක් වැඩි ප්‍රමාණයක් දික්වූ අතර උස අඩි 35කි. අක්කර 4408ක භූමි භාගයක පැතිර ඇති වැවේ ජල ධාරිතාව අක්කර අඩි 45148ක් වන අතර අක්කර 4200ක වපසරියකට ජල පහසුකම් ලබා දෙයි.

ක්‍රි.ව. 6වන සියවසේ විසු පළමු වන අග්ගබෝධී රජතුමා (ක්‍රි.ව. 571-604) වාරි කර්මාන්තයට තවත් උසස් සේවාවක් කළ නරපතියෙකි. මහා වංශය සදහන් කරන අන්දමට මෙතුමා දක්ෂිණ දේශයෙහි සිරිමඩ්ඪමාතක වාපි වැවද, කුරුන්ද වාපි, මහින්දම වාපි යන වැව් හා මණිමේඛලා අමුණ තැනවු බව සඳහන්වේ. මේ හැර පුජාවලියට හා රාජාවලියට අනුව කුරුඳු වැව යනුවෙන් වැවක්ද තනවා ඇත.

දෙවෙනි අග්ගබෝධි රජතුමා (ක්‍රි.ව. 604-614) විසින් තනවන ලද වැව් වල නාමලේඛනයක් මහා වංශයේ සහ පුජාවලියේ දැක්වේ. වලාහස්ස, තිරිතම යන වැව් වල නම් මහා වංශයේ සඳහන් වන අතර පුජාවලියේ ගංඟාතලා, සිරවලස් කැටිය, ගිරිතලා, හෝවටු, නෙරළු, මාටොම්බු, එඩේරගල, කළුන්තරු, මහවිදලූ, කැන්ගමු, මා දෑත හා කලමි යනුවෙන් වැව් 12ක් සඳහන්වේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s