මිනිසා හා තාක්ෂණය

ජාතික මිහිපිට උසස්‌ මනසක්‌ ඇති සත්වයා මිනිසාය. බුදුන් වහන්සේ ද තම දේශනාවල දී “මනං උස්‌සන්තීථි මනුස්‌සා” යනුවෙන් දේශනා කළේ ද මෙම කරුණමය. පරිණාමවාදය ඉදිරිපත් කළ චාල්ස්‌ඩාවින් කීවේ සත්ව සන්තතියේ අගේ්‍රශ්වරයා මිනිසා කියාය. තිරිසන් සතුන් අතර විවිධ හැකියාවන් සහිත සතුන් දැකිය හැකි වුවද නිර්මාණශීලී මනසක්‌ ඇති එකම සත්වයා මිනිසා පමණි. සතුන්ට ඇත්තේ සහජ කුසලතාවන් වුවද මිනිසාට තම පරිසරය සමග ගැටීම හේතුකොට ගෙන නව නිර්මාණ සහ සංකල්ප ජනිත කිරීමට හැකියාව තිබේ. මිනිස්‌ සමාජය වූ කලී සත්ව සන්තතිය නියෝජනය කරන එහි උප කුලකයකි. මිනිස්‌ සමාජය ගත් විට එහි වෙසෙන සිලුම දෙනා එක හා සමාන බුද්ධි ඵලයක්‌ ඇත්තෝ නොවෙති. එවැන්නන් සමාජයට දායක වන්නේ අතැඟිලි තරමටය. මානව ශිෂ්ඨාචාරය නිර්මාණය කිරීමට දායක වන්නෝ ඔවුහුය.

ගල් යුගයේ සිට වර්තමානයේ අප ජීවත්වන මේ ඉලෙක්‌ට්‍රොනික්‌ තාක්‍ෂණික යුගය දක්‌වා මිනිසා යෝධ පිම්මක්‌ ඉදිරියට තබා ඇත්තේ මිනිසා සහජයෙන්ම ගවේෂණයට සහ නිර්මාණශීලීත්වයට යොමුවූ මනසක්‌ තිබීම හේතුකොටගෙනය. එදා දෙපයින් ගමන්ගත් මිනිසා රෝදය සොයා  ගැනීමත් සමග චින්තනය මෙහෙයවා මෝටර් රථය ද, ඉන් අනතුරුව අහස්‌ යානය ද ඊටත් පසුව පිටසක්‌වල තරණය කිරීම සඳහා ඉවහල් කරගත හැකි ආකාරයේ මෙවලම් ද නිෂ්පාදනය කළේය. එදා ගල්ගුහාවල ජීවත්වූ මිනිසා අද විවිධ කායික සුවය ගෙන දෙන ආකාරයේ මෙවලම් සහිත නිවාස නිර්මාණය කළේය. එදා ප්‍රාථමික අවධියේ පැවැති මානව සන්නිවේදනය අද වැඩිදියුණු වී මුළු ලෝකයම එකට ගැට ගැසුන විශ්ව ගම්මානයක්‌ බවට පත්ව ඇත.‍

ගෝලීයකරණය

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගෝලීයකරණය යනු ගෝලීය වීමේ ක්‍රියාදාමයයි. යම් දේවල් හෝ විද්‍යාමාන දේවල් ගෝලීය දේවල් බවට පත් වී‍මේදී සිදුවන විපර්යාසයයි. එය විශ්ව ප්‍රජාව එකම සමාජයක් බවට ඒකාබද්ධ වීමේ සහ එකට වැඩ කිරීමේ ක්‍රයාදාමයක් ලෙසද විස්තර කළ හැකිය. මෙම ක්‍රියාදාමය ආර්ථික, තාක්ෂණික, සමාජීය සංස්කෘතික හා දේශපාලනික බලවේගවල සම්මිශ්‍රණයකි. ගෝලීයකරණය යන වචනය බහුලව භාවිතා වන්නේ වෙළඳාම, විදේශීය ඍජු ආයෝජනය, මුදල් ගලනයන්, සංක්‍රමණ සහ තාක්ෂණ ව්‍යාප්තිය යනාදීන් හරහා ජාතික ආර්ථිකයන් අන්තර්ජාතික ආර්ථිකය බවට එක්වීම හඟවන ආර්ථික ගෝලීයකරණය අර්ථ දැක්වීම සඳහාය. තෝමස් එල්. ෆ්‍රයිඩ්මන් ගෝලීය ආර්ථික බිඳවැටීමේ බලපෑම පිළිබඳ පර්යේෂණ කරන අතර ඔහු, ගෝලීයකරණය වූ වෙළඳාම, සැපයුම් දාම සහ දේශපාලනික බලවේග විසින් ලෝකය, වඩා හොඳ සහ වඩා නරක යන දෙයාකාරයෙන්ම වෙනස් කොට ඇති බවට තර්ක කරයි. තවද, ඔහු ගෝලීයකරණයේ විචලන වේගය ඉක්මන් බවද ව්‍යාපාර සංවිධානයේ සහ ව්‍යවහාරයේ ඝට්ටන වර්ධනය තව දුරටත් පවතිනු ඇතැයිද කියා සිටියි.

නෝර්ම් චොම්ස්කි තර්ක කරන්නේ ගෝලීයකරණය යන වචනය ආර්ථික ගෝලීයකරණයේ නව නිදහස් ආකෘතිය විස්තර කරන ආගමික අර්ථයකින් ද යුක්ත බවයි.