කඩ කරන පොරොන්දු (පුංච් කතාවක්)

බොහෝ ඈත කාලයක කුත්ක් නමින් මිනිසෙක් විසී ය. ඔහු ගේ බිරිය විත්ති ය . දෙදෙනා ජීවත් වූයේ මසුන් මැරීමෙනි.

දිනක් කුත්ක් සරු මත්ස්‍ය අස්වැන්නක් නෙළා ගෙන සිය හිම කරත්තය මසුන්ගෙන් පුරවාගෙන නිවෙස බලා එමින් සිටියේ ය.

හිම මත ලිස්සා යන සේ සකස් කර තිබූ ඒ කරත්තය ඇද්දේ සීල් මත්ස්‍ය යුවළකි.

”ඉක්මනින් ගෙදර යමු. වේගයෙන් දුවන තරමට අතරමඟ දී ප‍්‍රණීත කෑම ලැබේවි “ කුත්ක් සීල් මසුන් අමතා කීය.

ඒ මත්ස්‍යයෝ සිය වේගය දෙගුණ කළහ. රිය ඉක්මනින් නිවෙස බලා ඇදෙමින් තිබිණි.

එහෙත් මසුන්ට වෙහෙස ය. ආහාර ලැබෙනා පාටක් නම් නැත!

”අපට වෙහෙසයි. කන්න ඕනෑ “ ඔවුහු කීහ. ඒත් කුත්ක් මේ වචන සැලකිල්ලට ගත් බවක් නොපෙනිණි.

” තව ටිකක් වේගෙන් යමු. අනිවාර්යයෙන්ම කෑම දෙනවා” ඔහුගෙන් ලැබුණේ තවත් පොරොන්දුවක් පමණි.

සීල් මත්ස්‍යයෝ යළි දුවන්නට වූහ. එහෙත් ඔවුන් සැබැවින් ම වෙහෙසට පත්වෙලා ය. ඔවුහු යළි ඉල්ලති. කුත්ක් පොරොන්දු දෙයි.

අවසානයේ දී මසුන් ගේ ඉවසීම සිදුණු බව පෙනෙන්නට විය. මත්ස්‍යයෝ එක්වර ම දිවයමින් සිටි දිශාව වෙනස් කළහ.

උන් හරුණේ මුහුද දෙසට ය. දැන් කරත්තය ඉතා වේගයෙන් යයි.

කුත්ක් ට යමක් සිතා ගැනීමට පවා කාලයක් නැත. ඔහු මහා බියකින් පසුවන බව පමණක් පැහැදිලි ය.

”නවත්තපල්ලා, නවත්තපල්ලා “අවසානයේ දී ඔහු මොර දිණි.

එහෙත් ගමන නොනැවතේ. මත්ස්‍යයන් කෙළින් ම දිව ආවේ මුහුද වෙත ය.

උන් දෙදෙනා දෙවරක් නොසිතා මුහුදට පැන්නාහ. කරත්තය දැන් මුහුදේ ය. කුත්ක් දිවි ගලවා ගත්තේ අනූ නවයෙනි.

එසේ කොට හිස් අතින් ම ගෙදර යන අතර ඔහු මෙසේ සිතන්නට විය. පොරොන්දු දීලා කඩකරන එක බොහොම භයානක දෙයක්!

පාන් බබා…………

එක්තරා ඈත අතීත කාලයක රුසියාවේ පිටිසරබද ගම්මානයක අඹුසැමි යුවළක් වාසය කළ හ. ඔවුහු ඉතා දිළින්දෝ ය. දිනක් ඔවුන්ට ආහාර පිණිස කිසිවක් ම නොමැති විය.බිරිය ඉතා වෙහෙස වී එක්රැස් කරගත් පිටි ස්වල්පයකින්  පාන්ගෙඩියක්  තනන්නට වූවා ය. එය රවුම් අපූරු පාන් ගෙඩියකි. ඈ එය කෙතරම් කදිමට තැනුවා ද යත් එය දරුවකු ගේ මුහුණක් බඳු විය. ඈ ඒ රවුම මත දෙඇසක් ද, මුවක් සහ නාසයක් ද සලකුණු කළා ය.

එහෙත් එක්වර ම ඈ නොසිතූ® යමක් සිදුවිණි. ඒ පාන් ගෙඩියට පණ ආවේ ය. එවිට මේ පාන් බබා එක්වර ම මුළුතැන්ගෙහි කවුළුවෙන් පිටතට පැන අඩි පාර ඔස්සේ පලා දුවන්නට විය.

මෙසේ යන පාන් බබා අසල වනය තුළට වන් විට ඔහුට සාවකු මුණ ගැසිණි.

”අපූරු පාන් බබෙක්. මා නුඹ කා දමන්නම්” සාවා කීය.

”මා කන්නට එපා. මා නුඹට ගීයක් ගයන්නම්. පාන් බබා කීය:

මා පිටියෙන් තැනුණා
තෙලින් ඇනුණා
සීයාගෙන් මිදුණා
අත්තම්මාගෙන් මිදුණා
සාවාගෙනුත් මිදෙනවා…

ගීය නිම වූ සැණින් පාන් බබා අතුරුදන් විය. සාවාට තවදුරටත් ඔහු නොපෙනිණි.

පාන් බබා ඉදිරියට ම දිව ගියේ ය. ඔහු දැන් වනය මැද ය. මෙවිට ඔහු ඉදිරියට ආවේ වෘකයෙකි. ඔහු වෘකයාට ද ගීය ගැයුවේ ය. එසේ කොට පෙර සේම නොපෙනී ගියේ ය.

මීළඟට ඔහු ඉදිරියට වළසකු පැමිණ ඔහු කා දමන්නට සූදානම් වූ විට යළි ඔහු ගේ පිහිටට ආවේ පෙර කී ගීතය ම ය.

අවසානයේ දී ඔහු ඉදිරියට පැමිණියේ කපටි නරියෙකි. නරියාට ද පාන් බබා ගීය ගැයී ය.

සාවධානව ගීතය අසා සිටි නරියා මෙසේ කීය: “අනේ පුංචි බබෝ, මං දැන් වයසයි හරිහැටි කන් ඇහෙන්නේ නෑ නොවෑ. නුඹ මගේ හොම්බ උඩට නැගලා ඔය ගීතය කීවෝතින් නම් මට හොඳින් ඇහේවි.”

පාන් බබාට දුක හිතිණි. ඔහු නරියාගේ හොම්බ මතට වන්නේ ය. කපටි නරියා වහා ම පාන් බබා ගිල දැමුවේ ය. කවුරුන් වුවත් නිදහස භුක්ති වින්ද යුත්තේ ප්‍රවේසමෙනි!

සංගීත රාජධානිය………….

ක් රජකුට දියණිවරු සත් දෙනෙක් සිටියෝ ය. රජු ගේ බිරිය මිය ගොසිනි. මේ දියණියෝ රාති‍්‍රයේ දී අතුරුදහන් වෙති. ඔවුහු කොහේ දෝ යති. උදෑසන යළි පැමිණෙති. කිසිවකුට මේ ගමන වැළැක්විය හැකි නො වේ. එය මහා අබිරහසකි.

රජුට මේ ගමන නවත්වන්නට වුවමනා ය. එහෙත් එය කළ හැකි නොවේ. මේ අබිරහස හෙළිදරව් කර ගැනීමට එරට විසූ එක් දිළිඳු තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු සතු ව මායාකාරී තොප්පියක් තිබිණි. එය පැළැඳි විට තරුණයා නොපෙනී යයි.

පිය රජුගේ අනුදැනුමින් යුතු ව තරුණයා රාත‍්‍රි කාලයක දී මාලිගාවට ඇතුළු විය. මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. කුමාරියෝ ගමනට සූදානම් වූහ. ඔවුහු වටිනා වස්ත‍්‍ර හැඳ, වටිනා සැරසිලි කළහ. වැඩිමහල් සොහොයුරිය සිය යහන පසෙකට කළ විට එතැන අබිරහස් දොරටුවක් මතු ව ආවේ ය. මායාකාරී හිස්වැස්ම පැළඳ ගත් තරුණයා මේ සියල්ල දුටුවේය.

විවර වූ අබිරහස් දොරටුවෙන් කුමාරියෝ ඇතුළු වූහ. එතැන වූ පිය ගැට පෙළ අවසානයේ සංගීත රාජධානිය හමුවිය. එහි සංගීතය වැයේ. ඒ හඬ අතිශය මියුරු විය.

මේ රාජ කුමාරියන් හට සිය පිය රජු ගේ රාජධානියෙහි සියලු ඉසුරු තිබූ නමුත් වින්දනයට යමක් තිබුණේ නැත. පිය රජතුමා සංගීතය ප‍්‍රිය නො කෙළේ ය. එහෙයිනි මේ දූ කුමාරියන් සංගීත රාජධානිය සොයා පැමිණ තිබුණේ.

මේ රාජධානියේ රන්වන් රෝස පිපේ. තරුණයා එයින් එකක් ද නෙළා ගත්තේ රජතුමාට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නට යි.

රැය පහන් වන තුරුම මධුර සංගීත ස්වර  අසමින් ගත කළ දූ කුමාරියෝ යළි උදාසන මාලිගයට ආහ. තරුණයා ද යළි ආවේ ය. කිසි ම අයකුට ඔහු පෙනුණේ නැත.

දැන් තරුණයා ගේ වාරය යි. ඔහු සියලු කරුණු රජතුමාට හෙළි කෙළේ ය. ධනවත් වීමට නම් පාවා දීම් කළ යුතු  බව ඔහු දැන සිටියේ ය. ඔහු ගේ පාවා දීම අකුරට ම වැඩ කළේ ය.

සිය රාජධානියෙන් අඩක් ද, ළාබාල ම කුමරිය ද ඔහුට රජතුමාගෙන් තිළිණ සේ ලැබිණි. ඔහු මේ කුමරිය සිය බිරිය කොට ගෙන සතුටින් දිවි ගෙවී ය. එහෙත් කුමරිය සතුටින් දිවි ගෙව්වා දැයි කිසිවෙක් නොදනී.