කරැණාබර, අහිංසක ජයග්‍රහණය..(පුංචි කතාවක්)

එක් කරුණාබර යුවතියක් එක්තරා කාලයක සිය පියා සහ කුඩම්මා සමඟ දිවි ගෙව්වා ය. මේ නපුරු කුඩම්මාටත් දියණියක සිටියා ය. කුඩම්මා ඇගේ දියණියට මිස පුරුෂයා ගේ දියණියට නම් කාරුණික වූයේ නැත. කුඩම්මා ගේ දියණිය වනාහි ඇගේ පෙර විවාහයේ දරුවා ය.

මේ නිවසේ ගැටුම් බහුල විය. දිනක් කුඩම්මා සිය පුරුෂයා අමතා මෙසේ කීවා ය: “නුඹේ දූ කොහොමටවත් හදන්නට බැරි එකියක්. ඈ වනාන්තරයේ බිම්ගෙට ඇරලවපං. එහිදී ඈ හොඳින් හැදේවි”

පුරුෂයාට කළ හැකි අන් දෙයක් නො වී. ඔහු ඈ ඒ බිම්ගෙ හි රඳවා කාරුණික අවවාදයක් ද දී පිට ව ගියේ ය: “දුවේ, නුඹට ගින්දර තිබෙනවා. කැඳ උයාපං. කිසිවක් නිකරුණේ නාස්ති කරන්නට එපා. කාලයත් ඒ වගේමයි”

ඈ කැඳක් පිසුවා ය. රාති‍්‍රය එළැඹිණි. එක්වර ම කුඩා මී පැංචෙක් ඈ වෙත ආවේ ය: “කෙලි පැංචියේ බොහොම බඩගිනියි. කැඳ හැන්දක් ඇත්නම් හොඳයි”

”හැන්දක් විතරක් මොකටද? ඇති වෙන්න ම කමු.” දියණි මී පැංචා සමඟ ඉක්මනින් මිතුරු වූවා ය.

මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. විසල් වළහෙක් ගොරවාගෙන බිම්ගෙට ඇතුළු විය.

දියණි බියෙන් වෙව්ලා ගියා ය. “බය වෙන්න එපා පුංචි කෙල්ලේ අපි ඒකා සෙල්ලමට ගනිමු. නුඹ පෝරණුව යට හැංගියන්. මං සීනුව හඬවා ඌ රවටන්නම්.”

මී පැංචා ගේ උපක‍්‍රමය සාර්ථක විය. වළහාට පරාජය පිළිගැනීමට සිදුවිය: “කෙල්ලේ නුඹ හපනියක්. මං පැරදුණා. හෙට උදේට රන් කාසි ගැලක් එවන්නම්.”

පසුදා දියණි ගැන සොයා බලන්නට පියා ආවේ ය. රන් කාසි ද ගෙන ඔවුහු යළි නිවෙස වෙත ගියෝ ය.

කාසි දකින කුඩම්මා ඊර්ෂ්‍යාවෙන් දැවේ.

”ඇයි නුඹේ දුව විතරක්? මගේ දු වත් බිම්ගෙට ගෙනියාපං” ඈ කීවා ය.

කුඩම්මා ගේ දියණි ගේ වාරය ආවේ ය. ඈ ද බිම්ගෙට වැදී කැඳක් පිසුවා ය. රාති‍්‍රය එළැඹිණි. මී පැංචා ද ආවේ ය. එහෙත් මී පැංචා ගේ ආයාචනය මේ දියණි ඉවසුවේ නැත.

”නුඹ ජරා මීයා. වහා ම මේ ගෙයින් පිටවෙයං”

මී පැංචා යන්නට ගියේ ය. මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. පෙරදා මෙන් ම වළහා පැමිණ ගොරවන්නට විය. කළ යුත්තේ කුමක් දැයි මේ දියණි නො දනී.

ඈ වළහා ගේ ගොදුරක් බවට පත්වූවා ය.

මෝඩකමක මහත……….

ක් මහලු මවකට ඉතා මෝඩ පුතෙක් විය. මව දිනක් සිය පුතු අමතා මෙසේ කීවා ය:

”පුතේ මිනිසුන් අතරට ගොසින් ජීවත් වෙයන්. හුදෙකලා වීමෙන් නුවණ ලැබෙන්නේ නෑ”

පුතු ද එය ම කෙළේ ය. එසේ ඔහු ගම්මානයේ ඇවිද යන අතරතුර ධාන්‍ය වර්ගයක් කොටමින්, ධාන්‍ය කරට ගෙන බර අදිමින් සිටින මිනිසුන් කිහිප දෙනකු ඔහුට පෙනිණි.

”නුඹ කොහි සිට ආවාද? මේ හැටි විමසිල්ලෙන් අප දෙස බලන්නේ ඇයි?” ඒ මිනිස්සු ඇසූහ.

මෝඩ පුත‍්‍රයා කිසි පිළිතුරක් දුන්නේ නැත. අවසානයේ කුපිත වූ මිනිස්සු ඔහුට පහර දුන්හ. ඔහු හඬමින් නිවෙස වෙත ආවේ ය.

මහලු මවු සියලු තතු විමසා මෙසේ පුතුට අවවාද දුන්නා ය: “අනේ නුඹ කීවානම්, ඔය බර රැගෙන යෑමට නුඹලාට දේව කරුණාව ලැබේවා කියා ඒ මිනිස්සු බොහොම සතුටු වෙන්නට තිබුණා”

මීළඟ දිනයේ දී මෝඩ පුතා යළි ගම්මානයේ ඇවිද යන්නට විය. එවිට එහි අතුරු මාවතක් ඔස්සේ අවමංගල්‍ය පෙරහැරක් ඇදී ආවේ ය. මිනිස්සු බරක් ඔසොවාගෙන ඉදිරියට ඇදෙනු දුටු පුත‍්‍රයා මහා හඩින් කෑ ගසන්නට විය:

”අනේ ඔය බර රැගෙන යෑමට නුඹලාට දේව කරුණාව ලැබේවා”

එවර ද කුපිත වූ මිනිස්සු ඔහුට පහර දුන්හ. ඔහු යළි හඬමින් නිවෙස වෙත ආවේ ය.

”අම්මෙ නුඹ කී හැටියට කළාමත් මට මිනිස්සු ගැහුවා.” ඔහු හඬමින් ම ආඩපාලි කීය.

”පුතේ නුඹ කීවා නම් ස්වර්ග මෝක්ෂ සැප ලැබේවා කියා හරි අගේට ගැළැපෙන්නට තිබුණා. අනිත් එක නුඹට තිබුණේ හිස්වැස්ම එහෙමත් ගලවලා හඬා වැටෙමින් එසේ කියන්නටයි” මව කියා සිටියා ය.

තෙවැනි දින එළැඹිණි. අඥාන පුත‍්‍රයා යළි ගමනේ යයි. එදින ඒ ගම මහා සැණකෙළියකි. මිනිස්සු මහා හුඟක් සැණකෙළියෙහි එක්රොක් වී සිටිති.

මෝඩ පුතා එතැනට ගොසින් හිස්වැස්ම ගලවා මහා හඩින් හඬමින් නුඹලාට ස්වර්ග මෝක්ෂ සැප ලැබේවා යි කී විට ප‍්‍රීතියෙන් උදම් වී සිටි මිනිස්සු ඔහුට ඇති තරමට ගුටි බැට දෙන්නට වූහ.