Archive | December 2010

සිය උරුමය සොයා යෑමට කිසිවකුට අවශ්‍ය නම්……..

ඉතා ඈත කාලයක, වත්මන් තුන්ද්‍රා වනය පැතිරී තිබෙන පෙදෙසේ වනචාරී මිනිසෙක් සිය බිරිය  ද සමඟ ජීවත් වූයේ ය. ඔහු ගේ නම කීල් ය.

ඔවුහු දිවි ගෙවූවෝ කඳු මුදුනක තැනූ කුඩා නිවෙසක ය. මෙසේ හුදෙකලාවේ කල් ගත කළ මේ  යුවළට දරුවෝ ද නො සිටියහ. මේ වනයේ ඔවුන් හැර වෙනත් කිසිවෙක් ද ජීවත් නො වූහ

වසර විසි ගණනක හුදෙකලා වාසයෙන් පසු ඔවුනට සිය ජීවිතය ගැන මහා කලකිරීමක් ඇති විය.  එවිට බිරිය සිය සැමියා අමතා මෙසේ කීවා ය

”මේ ජීවිතේ දැන් ඇතිවෙලා. නුඹ වහා ගෙයින් පිටවී පලයං. මේ ලෝකයේ කොහේ හෝ තවත්  මිනිසුන් ජීවත් වෙනවා ඇති. කෙසේ හෝ ඒ අය සොයා ගනිං”

ඇගේ යෝජනාව යහපත් බව කීල් කිහිට ද වැටැහිණි. ඔහු වහා කි‍්‍රයාත්මක ව හිරු නැඟෙන  දිසාවට නික්ම ගියේ සිය බිරියට මෙසේ පවසමිනි:

”මං හැමතැනම ඇවිදලා බලන්නම්. හැම අවුරුද්දකම මේ කන්දට මං ඊතලයක් විදිනවා. එයින් මං  ජීවතුන් අතර බව නුඹට දැනගත හැකි වේවි.”

කෙසේ හෝ මෙසේ වසර ගණනක් ගෙවී ගියේ ය. ඒ වසර කිහිපය පුරා ම කීල් කිහි වනය දෙවනත්  කරමින් මිනිසුන් සෙවී ය. අවසානයේ ඔහු ගේ අරමුණ මුදුන්පත් විණි. එක්තරා ගසක් සෙවණේ,  ඉතා වටිනා ඇඳුමින් සැරැසුණු ධනවත් පුරුෂයකු සිටිනු ඔහුට දැකගත හැකි විය.

අමන්දානන්දයට පත් වනචාරී මිනිසා වහා ම මේ අමුත්තා වෙත ගොස් තමා පිළිබඳ ව ද,  මිනිසුන් සොයමින් තමා පැමිණි මේ ගමන පිළිබඳව ද කියා සිටියේ ය.

තමා ඉතා කුඩා වියේ සිට ම වනයේ ගත කළ හැටි ද, අනාථ ව වනචාරී ව දිවි ගෙවූ බව ද එයින්  කියැවිණි. අමුත්තා මේ පුවතින් මහත් සේ සතුටු වූ හැටි පෙනිණි.

”නුඹ ඔය කියන කාල වකවානුවේ මගේ සොහොයුරා මේ වනයේ දී අතරමං වුණා. ඉන්පසු ඔහු ගැන අද  වනතුරුත් තොරතුරක් නැහැ. අපේ පියා දක්ෂ දඩයක්කරුවකු ව සිටි නිසා මගේ ඒ සොහොයුරා  ළඟත් විශේෂ දුනු හී තිබුණලු. මගේ පියා ගේ නම එර්සියෝ” අමුත්තා කී ය.

”එර්සියෝ නමැති දඩයක්කරුවා ගෙන් හිමි වූ ඔය කියන දුනු හී මා ළඟ තවමත් තියෙනවා. මා  අතරමං වෙලා තියෙන්නේ ඒවා මගේ උරේ තිබිය දී යි, කියා මා ඇති දැඩි කරගත් මවු කීවා”  මෙවිට කීල් කියා සිටියේ ය. මේ හෙළිදරව් වීමත් සමඟ ම අමන්දානන්දයට පත් අමුත්තා  ද කීල් ද ඔවුනොවුන් තරයේ වැලැඳ ගත්තෝ, ඔවුන් සැබෑ සහෝදරයන් බවට ඇති වූ අවබෝධය  දැඩි කරගත්හ.

සිය උරුමය සොයා යෑමට කිසිවකුට අවශ්‍ය නම්, ඔහු හුදෙකලා වී නොසිට ඒ වෙනුවෙන් කැප විය  යුතු වේ. එවිට අනිවාර්යය ජයග‍්‍රහණය ඔහු කරා ළඟා වන්නේ ම ය.