මේ සිදුවීම ඉතා ඈත කාලයට අයිති ය. ඒ ලෝකය මැවූ මුල් ම කාලය යි. එකල නිරේදක් නමැති මිනිසෙක් විසී ය. ඔහු සිය සිරුරු ප‍්‍රමාණයෙන් ඉතා කුඩා විය. මීයකු ගේ සමින් කළ කබායක් හැඳ සිටි හෙතෙම ඉතා උඩඟු මිනිසෙකි. ඔහුට යහපත අයහපත පෙන්වා දීමට කිසිවෙක් නොසිටියේ ය. ඒ ඔහු කිසිවකු නොතැකූ බැවිනි. ඔහු සිතුවේ ම තමා මෙලොව ශක්තිමත් ම සත්ත්වයා ලෙස ය. එනිසා ම ඔහු ලොව ශක්තිමත් ම යෝධයන් විසූ දේශයක සංචාරය කිරීමට තීරණය කෙළේ ය. ඔහු ගේ අරමුණ ඉටු විණි. යෝධයන් ගේ දේශය ඔහුට සොයාගත හැකි විය. එහි පිවිසි ඔහු තමා හමුවට ආ පළමුවැනි යෝධයාට තර්ජනය කරන්නට විය. ”මා නුඹ මරා දමනවා. පරිස්සම් වෙයන්!” තමා ඉදිරියේ ගිරිය යටින් කෑ මොර දෙන කුඩා සත්ත්වයකු දුටු යෝධයා මහ හඩින් සිනා පා මේ සත්ත්වයාට නොරිදෙන සේ ඇඟිලි තුඩින් ඔහු ඔසොවා සිය නිය අග තබා ගති. තවත් කිහිප වරක් කෑ මොර දුන් නිරේදක්, යෝධයා ගේ ඇඟින් බිමට පැන ඈතට දිවගොස් මෙසේ කියා නොපෙනී ගියේ ය. ”මේ වාරයේ නුඹ බේරුණා. ඊළඟ පාර මරනවාමයි. පරිස්සම් වෙලා හිටපං” මෙලොව වසන රූමත් ම කත හා තමා විවාහපත් විය යුතු යැයි මීළඟට උද්දච්ච නිරේදක් තීරණයකට පැමිණ තිබිණි. කෙසේ හෝ ඔහු අතිශය පියකරු යුවතියක සරණ පාවා ගත්තේ ය. එහෙත් ඈට ඇතුළු වන්නට පවා ඔහු ගේ කූඩාරම ඉඩ මදි විය. ඔහු ඈ වෙනුවෙන් පිළියෙළ කළ නව කූඩාරම අහස තරමේ විසල් එකකැ යි ඔහු සිතුවේ ය. මේ විවාහයෙන් පසු ඔහුට වෙනදාට වඩා වෙහෙස මහන්සි ව වැඩ කරන්නට සිදුවූයේ, සිය බිරියට ඇවැසි ආහාරපාන සපයා දීම සඳහා ය. ඔහු කන්දක් තරමේ මාළුන් ප‍්‍රමාණයක් බිලී බෑ විට, බිරිය එයින් සූපයක් පිළියෙළ කොට තමා ම පානය කොට තවමත් ඈ කුසගින්නේ බව කීවා ය. අවසානයේ මේ කුඩා උඩඟු මිනිසා හැර දමා යෑමට ඈ තීරණය කළ විට නිරේදක් මෙලොව තනි විය. එහෙත් ඔහු තමා මෙලොව බලවත් ම මිනිසා සේ තමා ගැන ම කළ තක්සේරුව පසු ව කිසිදා හුදෙකලා වූෙය් නැත.