”අම්මේ බඩගිනියි. මාළුවා ගේ උඩම කොටසින් කෑල්ලක් ඕනෑ.”
”දෙන්නම් පුතා. ඒත් ඔයා තාම එළියෙ නේ. ඇතුළට ආව නම් කන්න පුළුවන්.”
තවත් විනාඩි ගණනක් ගත විය. පුතු ගේ හඬ යළි ඇසිණි.
”අම්මේ, හොඳටම බඩගනියි. මාළුවා හීනියට කපා දෙන්න.”
”එළියේ ඉඳගෙන කන්න බැහැ. එන්න ඇතුළට.” මවු කීවා ය.
තවත් මඳ කලක් ගත වූ තැන පුතු යළිත් හඬ නැඟී ය.
”අම්මේ පුදුම තරමට බඩගිනි වුණා. මාළුවා ගේ පිට කොටසින් කෑල්ලක් ඕනෑමයි.”
”එළියෙ ඉඳගෙන කෑමේ සිරිතක් නෑ. ඇතුළට ඇවිත් කමු.” යළි යළිත් මවු ගේ පිළිතුර වූයේ එය යි. එහෙත් යළි වරක් පුතු මාළුවා ගේ මැද මස ද ඉල්ලා සිටි නමුත්, පිළිතුරෙහි නම් වෙනසක් සිදුවුණේ නැත.
ඉන් පසු පුතු නිහඬ විය. මවු ගෙයින් පිටතට පැමිණ දරුවා සොයන්නට විය. දරුවා පිළිබඳ කිසිදු සලකුණක් නැත! හිම මත ඔහු කෙළිදෙලෙන් සිටි බවට එමත වූ පිය සටහන් පමණක් සාක්කි දුනි.
මවු දිගින් දිගට ම පුත‍්‍රයා සොයා ගියා ය. ඈ උමතුවෙන් මෙන් කඳුළු සලමින් හඬන්නට වූවා ය.
මෙසේ ඈ හාත්පස දිවයන අතර විලක් මත අමුතු පාත්තයකු දුටුවා ය. මේ නම් සිය පුත‍්‍රයා බව ඈට වැටහිණි. ඈ මෙසේ කෑ ගෑවා ය.
”පුතා පුතා මගේ ළඟට එන්න.”
”මං කොහොමද අම්මේ එහෙම කරන්නේ. මං දැන් පාත්තයෙක්. නිදහසේ, එළිමහනේ ජීවත් වන, එළිමහනේ කන බොන නිදහස් සතෙක්. ඔබට ඔබේ මාළුවා ගෙතුළට වී රස බලන්න දැන් පුළුවන්”
මෙසේ කියා පාත්තයා මවු දෙනෙතින් මිදී ඈතින් ඈතට පිහිනා යන්නට ගියේ ය.