Archive | June 2011

”කුරුලු දරුවා”

ක් මවකට හා පියකුට ඉතා දක්ෂ දරුවෙක් සිටියේ ය. ඔහු ගේ නම වසීලි ය. ඔහු කෙතරම් දක්ෂ ද යත් කුරුල්ලන් ගේ භාෂාව පවා දැන සිටියේ ය.

දිනක් මාපියන් සමඟ වසීලි අහර ගනිමින් සිටිනා’තර එක් කොවුලෙක් ඔවුන් වෙත පැමිණ මිහිරි හඩින් නද දෙන්නට විය. වසිලිට කුරුල්ලා පවසන දෙය වැටහිණි.

”පුතේ මේකා මොනවා කියනවාදැයි අපටත් කියාපං”

”එය කියන්නට බයයි”

”බය නොවී කියාපං” මාපියෝ ඔහු පෙලැඹවූහ.

”යම් දිනෙක පියා මට දිය සපයමින් ද මවු මා සාළුවකින් පිස දමමින් ද මා හට සේවය කිරීමට නියමිත බව කුරුල්ලා කියනවා.”

මෙබස ඇසූ සැණින් මාපියෝ වසීලි හා උරණ වූහ. ඔවුන්ට දැන් කෙසේ හෝ දරුවාගෙන් ගැලවෙන්නට වුවමනා ය. කුඩා ඔරුවක් තැනූ ඔවුහු දරුවා එහි දමා මුහුදේ පා කර හැරියෝ ය.

ඒ ඔරුව මුහුදුබත් නො වී ය. එය සුවසේ එක්තරා ගොඩබිමකට සේන්දු විය. වසීලි තුරුණු වියට එළැඹෙත්ම ඔහු ගේ දස්කම් ද තව තවත් දියුණු විය. ඔහු කුරුලු බස මැනැවින් ප‍්‍රගුණ කෙළේ ය.

ඔහු ගේ මේ හැකියාව රට පුරා පතළ විය.

එකල ඒ රටේ රජතුමා විසඳගත නොහැකි ගැටලුවකට මැදි ව සිටියේ ය. කුරුලු යුවළක් රාජ මන්දිරයේ තැනූ කූඩුවක ය. ඔවුනට පැටියකු ද සිටී. මා පිය කුරුල්ලෝ හැමවිට ම මහා හඩින් හඬ දෙති. එතැන නිරන්තර කලබැගෑනියකි. ඔවුන් මැදුරෙන් පිටතට ගත හැකි ද නො වේ.

මේ අතර වසීලි පිළිබඳ මේ රජතුමාට ද දත හැකි විය. අරුම පුදුම කුරුලු කරදරය විසඳීම රජතුමා වසීලිට භාර කෙළේ ය. “රජතුමනි මේ කුරුලු යුවළට දරුවා පිළිබඳ අයිතිය ගැන ගැටලුවක් ඇතිවෙලා. ඔබතුමා තීරණය දෙන්න. දරුවා කාටද?”

”පියාට”

මේ පිළිතුර සමඟ ම කුරුලු පැටවා පියා සමඟ පියාඹා ගියේ ය. මවු ඊට විරුද්ධ දිශාවට පියසැරූ විට කුරුලු කරදරය නිමා විය. අතිශය සතුටට පත් රජතුමා වසීලිට සිය රාජධානියෙන් අඩක් ද දී තම දූ කුමරිය ද සරණ පාවා දුනි.

වසීලි ඉතාමත් සතුටින් මාලිගයේ කල්ගත කරන අතර ඔහුට විදේශ සංචාරයන් හි දොලක් ඉපැදිණි. රජතුමා ඒ සඳහා සිය කළමනා සම්පූර්ණ කෙළේ ඉතා කැමැත්තෙනි.

එසේ නැව් නැගී සංචාරය කරන වසීලි එක්තරා රටක නගරයකට ගොඩ බට විට වියපත් පුරුෂයෙක් ඔහුට පැන් ගෙනැවිත් තැබුවේ රජතුමා ගේ විඩාව නිවනු පිණිස ය. ඒ හා සමඟ ම මහලු කතක් සාළුවකින් ඔහු පිස දැමුවා ය. වසීලිට එසේ සිය මාපියන් යළි මුණ ගැසිණි.

Advertisements

උස් හඩින් හැඬූ වටුවා………..

එක් වනයක උස් හඩින් හඬන වටුවෙක් විය. ඒකා දිනක් ගසක් මතට වී කල්පනාවෙන් බර වූ සිතින් නිහඬ ව සිටියේ ය. මෙවිට එක්වර ම යමක් ඒකා ගේ හිස මත වැටිණි.

”අහස කඩා වැටෙනෝ” වටුවා උස් හඩින් හඬ ගෑවේ ය. “මේ ගැන රාජාලියාට කිව යුතුයි” යැයි ද කියූ වටුවා වහා රාජාලියා සොයා දිව යන්නට විය.

අතරමඟ දී වටුවා ට වැලි කුකුළා මුණ ගැසිණි.

”මිත‍්‍රයා මොකෝ හදිස්සිය?” වැලි කුකුළා වටුවා ඇමතී ය.

”අහස කඩා වැටෙනවා. මං රාජාලියාට ඒක කියන්න දුවනවා”

”මාත් එන්නම්. යමු.” වැලි කුකුළා ද ගමනට පිටත් විය.

දෙමිතුරන් මෙසේ දිවයන අතර ඔවුනට තාරාවා හමුවිය.

”යාළුවනේ කොහේ දුවනවාද?” තාරාවා ඇසී ය.

”අහස කඩා වැටෙනවා. අප රාජාලියාට ඒ බව දන්වන්න යනවා.”

”හොඳමයි. මාත් එන්නම්”

දැන් තිදෙනෙක් දුවති. මෙසේ දිවයන්නන්ට මීළඟට රතු දුඹුරු වැලි කුකුළා මුණ ගැසේ. ඒකා ද පෙර පරිදි ම පැන විමසා ඔවුන් හා ගමනට පිටත් විය.

මේ සිව්දෙනා යති. යති. ඉදිරියට ම යති.

මෙවිට මොවුන් හමුවට එන්නේ නරියෙකි. නරියා ගේ නම ටි‍්‍රක්සි  ය.

”යාළුවනේ, හදිස්සියක්වත් ද?” නරියා ඇසී ය.

මිතුරෝ කරුණු පැහැදිලි කළහ.

නරියා ගේ කපටි නුවණ පණ ගැන්විණි. ඒකා මෙසේ කී ය. “හොඳයි, හොඳයි. රාජාලියාට කිව යුතු ම තමා. ඒත් නුඹලා පාර වරද්දාගෙන. මා සමඟ වරෙල්ලා. පාර පෙන්වන්නම්.”

මෙවිට සියල්ලෝ නරියා පසුපස ඇදුණා හ. නරියා මොවුන් කැඳවාගෙන ගියේ අන් කවර තැනකට නොව ඒකා ගේ ම නිවෙසට යි.

”මෙන්න තැන.” නරියා සිය නිවෙස ඉදිරිපිට නැවතී කී ය. “මා මුලින්ම යන්නම්. ඊළඟට එක එක්කෙනා ඇතුළට වරෙල්ලා.”

නරියා නිවෙසට ඇතුළු වූ පසු, වැලි කුකුළා ද තාරාවා ද එහි ඇතුළු වූහ. ඒ දෙදෙනාට ම සිදුවූයේ සිය ජීවිතවලින් වන්දි ගෙවන්නට යි. මීළඟට වටුවා ගේ වාරය ආවේ ය. ඒකා නිවෙසට ඇතුළු වූ සැණින් නරියා වටුවා ගේ බොටුව තද කරන්නට විය.

මෙවිට වටුවා කෙතරම් හඩින් ලතෝනි නැඟුවේ ද යත්, රතු දුඹුරු වැලි කුකුළා ද තැති ගෙන නිවෙස තුළට වැදුණේ ය. මෙයින් ඒ දෙදෙනා ගේ දිවි ගැලවිණි. අහස කඩා වැටෙන පුවත තවමත් කිසිවෙක් රාජාලියාට කියා නැත.

මැෂින්………..

දහදිය දුම් දමාගෙන
මැසිම අනයි කොන්කී‍්‍රට්
වටේ දහ පහළොවක්
නරඹති විමතියෙන් මෙන්
පෙන්වයි විසඳයි ලියයි
කොම්පියුටරය ලහිලහියේ
පුටුවලට බර දී
දනෝ නිදි කිරති සිත්සේ…….