පුදුම හිතක ඇති පුදුම බලය………………

සිත ද සිතුවිලි ද මිනිසා විශ්මයට පත් කරවයි. එතරම් සංකීර්ණ විෂයකි එය. සාන්තුවරයකු මෙන්ම සුලු මොහොතකින් යක්ෂයකු වීමට එයට හැකි ය. අතීතයේ මෙන් ම හෙට ද ඒ හිත වෙනසක් නොමැති ව ක්‍රියාත්මක වෙයි. එබඳු සිත්හි පුදුමාකාර ස්වභාවය, සංකීර්ණ බව විමසීමේදී විමානවත්ථුප්පකරණය අපට රසවත් මෙන්ම මානව චර්යාවන්හි ගැඹුරු තැන් පසක් දීමට සමත් වන ගතකි. විමානවත්ථුව ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ පහළොවෙන් එකකි. අප මූලාශ්‍ර කර ගත් ග්‍රන්ථ සංස්කරණයේ ප්‍රස්තාවනාවේ එන පහත සඳහන හිත ගැන කීමට පෙර තත් කෘතිය ගැන කීමට ප්‍රමාණවත් එකකි.

විමාන යනු ප්‍රසාදවාචක ශබ්දයකි. විමාන වත්ථුවට අනූව දිව්‍ය විමාන (දිව්‍යප්‍රසාද) ගනු ලැබේ. එහි සඳහන් විමාන යොදුන් ගණන් විශාල ය. නොයෙක් ලෙසින් විචිත්‍ර ය. දෙවියෝ ඒ විමානයන්හි ක්‍රීඩා පරවශ ව වෙසෙති. එය තකා අටුවාවෙහි ‘විසිට්ඨමානානි දෙවතානං කීළානිවාසට්ඨානි’යි විමාන ශබ්දය විග්‍රහ කරන ලදී. ඒ විමාන පෙර පිනින් දිව්‍ය පුත්‍රයන්ට හා දිව්‍ය ස්ත්‍රීන්ට පහළ වූ විමාන වෙයි. ඒ විමාන පහළ වීමේ හේතු දැක්වෙන ග්‍රන්ථය විමානවත්ථු නම් වේ. එය ගාථවලින් ද සැදි කොටසයි. ඒවා හි සම්බන්ධ කථා ප්‍රවෘත්ති හා ගාථා වර්ණනා අට්ඨකථාවට අයත් වේ. විමානවත්ථු අට්ඨකථාව පරමත්ථදීපනී යන අපර නාමයෙන් ද වෙසෙසන ලද්දේ ය. එය පෙළ ද ඇතුළත් වන සේ සංගෘහීතය.” (ප්‍රස්තාවනාව)

දෙව්ලොව වසන අයගේ සැප සම්පත් හා ඒවා ලබා ගැනීමට මිනිස් ලොවදී කරන ලද පින්කම් ගැන සඳහන් කථාවලින් මෙය සමන්විත වෙයි. මෙහි වැඩි කොටසක් මුගලන් මහ රහතන් වහන්සේ විසින් දෙසන ලද ඒවා වෙයි. එබඳු කථා අසූ පහකින් මෙම ගත පරිමිත ය. මෙහි එන කථා බොහෝමයක් බුද්ධ කාලයේදී සිදු වූ ඒවා ලෙස දක්වා ඇත. ඒවායින් පනසක් කථා ස්ත්‍රීන් ප්‍රධාන කොට සඳහනි. ස්ත්‍රී වේවා, පුරුෂ වේවා මේ කථාවන්හි එන සමහරක් ප්‍රවෘත්ති කථා රසයෙන් ද අනූන සංකීර්ණ මනුෂ්‍ය ස්වභාවය එළි කරන ඒවා වෙයි.

එපමණක් නොව ඊයේ, අද හෝ හෙට මිනිස් සිතක අරමුණු කවර ලෙස වෙනස් වේදැයි ද, අද මෙන් ම එදා ද මිනිසුන් කටයුතු කර ඇත්තේ මිනිසුන් නම් මෙබඳු අදහස් ඇති අය යැයි කියන්නාක් මෙන් යැයි ද එමඟින් පසක් කළ හැකි වෙයි. ජීවිතයේ මතුවන ගැටලු, ඒවාට දෙන පිළිතුරු, මාපිය දූදරු සබඳතාවන්හි සංකීර්ණ බව මොනවට හෙළි කරන මියුරු, ගැඹුරු අරුත් දෙන කථා කිහිපයක් මෙහිදී අප සාකච්ඡාවට බඳුන් වෙයි.

වත්මන මුදල් ඇත්නම් අපට ලබාගත හැකි, විඳිය හැකි සැප සම්පත් මෙපමණකැයි සීමා කළ නොහැකි ය. මෙලොවදී බැරිනම් පරලොවදී හෝ ඒවා ලබාගැනීමේ අභිලාසයෙන් අපි නිරන්තර මානසික ආතතියෙන් පෙළෙන්නෙමු. එය මිනිස් සිතේ හැටි ය. අසංතෘප්ත බව එහි නිධන්ගත රෝගයකි. කුඤ්ජරවිමාන වස්තුවේ රජගහ නුවර එක්තරා කුල දියණියක් බිම්බිසාර රජුගේ ශ්‍රී විභූතිය දැක ඒ සම්පත් තමාටත් ලබා ගැනීමට ඇති නම් යෙහෙකි’යි සිතයි. මෙය පොදු චින්තාවක් ම හෙළිදරව් කරන්නකි. ඇය පිළිබඳ ව එළු විමානවත්ථුවේ රසවත්ව දක්වා ඇත්තේ මෙපරිද්දෙනි.

“… රජගහ නුවර වසන්නා වූ එක්තරා කුල දියණියක් උදාර වූ ශ්‍රී සෞභාග්‍යයෙන් මහත් රාජානුභාවයෙන් දිලිහි දිලිහී වඩනා බිම්සර රජහුගේ ඓශ්වර්ය සම්පත් දැක බලවත් ව හටගත්තා වූ අද්භූ®®ත වූ පී‍්‍රති සොම්නස් ඇත්තාවූ ඒ ස්ත්‍රී තොමෝ මේ රාජ සෘද්ධි වැනි වූ උදාරතර වූ ශ්‍රී සම්පත් ලබනු කැමැත්තෙමි. කවර කාරණයෙකින් ලබන්නට හැකිවන්නෙම්දැයි නුවණැත්තවුන් කරා ගොස් විචාළේ ය…” (21 පිටුව)

ඇය පින් දහම් කළ ද, වත්මන මේ තත්ත්ව වෙනස් ව ගොස් දියුණු අධ්‍යාත්මය පසෙකලා අසංතෘප්ත සිතක් සංතෘප්ත කිරීමට අප දරන වෑයම අසහනය, ආතතිය ම ජනිත කරවයි. දුක් දෙවයි.

උත්තරා පිළිබඳ එන කතාව ද මෙබඳු ම, සිතක පුදුම එළවන ස්වභාවය ම අපට පසක් කරවන කදිම ප්‍රවෘත්තියකි. පුණ්න හා උත්තරා දුප්පත් ව සිට පසුව දනක් පිරිනැමූ පිනින් පොහොසත් වූවෝ ය. ඒ දෙපළගේ දුවණිය ද උත්තරා නම් ලද්දී, වැඩිවියට පැමිණියේ වෙනත් සමයක් අදහන සිටු කුමරකුට විවාහ කර දෙයි. ඔහු පින්කම් කිරීමට අකමැති හෙයින් උත්තරා ව දොම්නසට පත්වන්නී දෙමාපියන්ට දන්වයි. එවිට දෙමාපියන් ඇයට දෙන පිළිතුර අප පුදුමයට පත් කරවන්නකි. අදහාගත නොහැකි තරමේ එකකි එය. තවත් අතකට පින් කිරීමේ අදහසින් කරන පාපකාරී ක්‍රියාවක් නොවන්නේ දැයි ඇතිවන්නේ මහත් ම ගැටලුවකි. එහෙත් මිනිස් සිත එසේ ය. සංකීර්ණ ය.

“දුවණියෙනි, මේ නුවර සිරිමා නම් වූ ගණිකාවක් ඇත්තී ය. දවසකට කහවණු දහසක් මිල නියම කොට ගන්නී ය. එබැවින් මේ කහවණු ගෙන දී ඈ ගෙන්වාගෙන ස්වාමියා හට පාවා දී නුඹ කැමති පරිද්දෙන් පින් කරවයි. කියා පසළොස් දහසක් කහවණු හා සමග හසුනක් ද යැවූහ.” (52 පිට)

මෙය කවර නම් මවකට තම දුවණියකට දිය හැකි උපදෙසක් ද? එහෙත් හිත මහ පුදුම තැනකි. එහි වෙනස්වීම පුදුම සහගත ය. මාරයකු මෙන් ම තවුසකු සේ වෙන්නට සිතට හැකි ය. සිරිමා ව යෙහෙළියක ලෙස හඳුන්වා තමා නැති දිනවල ඈ සමඟ වෙසෙන්නට බිරියක් ලෙස උත්තරා ආරාධනා කරයි. සිටු කුමරා ද ඇගේ රූ සම්පත් දැක අලුත් රසයකින් පිබිදෙයි. එය කම් සැපෙහි නොනවතින අරගලය කොතරම් ප්‍රබල වූවක්දැයි පසක් කර දෙයි.

“… ඒ සිටු කුමාර තෙමේ ද මනා රූ ඇති කුමාරිකාවක ලත් බැවිනුත් ඈ පිළිබඳ ව හටගත්තා වූ සිත් ඇති බැවිනුත් ‘මැනවැයි’ සතුටු විය…” (52)

උත්තරාවද, සිටු කුමාරයා ද, සිරිමාව ද සිතක හැටි කියන අපූරු චරිත ත්‍රිත්වයක් ලෙස කතාව පුරා දිවෙයි. ටික දිනකට උත්තරාවගේ සැමියාගේ පවස නිවීමට යන සිරිමා උත්තරාවගේ තැනටත් එහාට ගොස් අධිපති මනසක් ගොඩනගා ගනී. උත්තරා ව පිළිබඳ ව අප්‍රසාදය පළ කරන ඈ, ඇයට වෙනස්කම් කිරීමට ද පටන් ගනී. ගැහැනියක නොව පිරිමි අය ද මෙසේ හැසිරෙනු අද ද අපට දැකිය හැකි ය.

“… ඕ තොමෝ පිට ස්ත්‍රියක් ව අඩමසක් සම්පත් අනුභව කරන්නී පිට ස්ත්‍රියක බවත් නොදැන ‘මම ගෘහ සාමිනිය’ යි සිතුවා ය. මෙසේ සිතුවා වූ ඕ තොමෝ උත්තරා ව කෙරෙහි ආඝාත බැඳ ‘උත්තරාවට දුක් දෙමැයි’ ප්‍රාසාදයෙන් බැස දන් පිසන ශාලාවට පැමිණ පූව පිසන තැනින් කකියවන ලද ගිතෙල් සැන්දක් ගෙන උත්තරාව දිශාවට අභිමුඛව ගියා ය…” (53)

මේ උත්තරාවගේ කතාවයි. ඇගේ ස්වභාවය නූතන සමාජය හා බද්ධ නොවෙතැයි අත්හළ නොහැකි ය. ඒ තරම් උතුම් අරමුණු වෙනුවෙන් නොවුණත් එබඳු සිටු කුමරියන් ද, එබඳු දෙමාපියන් ද, සිරිමාව වැනි ගැහැනුන් ද අදටත් දිවි ගෙවන බව අසන්නට, දක්නට ලැබෙන සමහර පුවත් අපට සිහි කැඳවයි.

අනතුරු ව ඒ ග්‍රන්ථයේ එන සිරිමා විමාන වස්තුව ද උත්තරා විමාන වස්තුවේ ම දිගුවකි. උත්තරාවගෙන් සමාව ලබා සසුනෙහි පැහැදුණු සිරිමා දන් දෙන්නී, ප්‍රණීත ව දෙයි. වැඩියෙන් යමක් දෙයි. මේ පුවත් අසන එක්තරා මහණ කෙනෙක් ඇසීම් මාත්‍රයෙන් ම ඇය කෙරෙහි ස්නේහ සිතක් පහළ කර ගනියි. හිත මහ පුදුම තැනකි. අප යටපත් කරන හැඟීම් පසුව අප ව යටපත් කරන අයුරු එහි කදිමට විස්තර කර ඇත්තේ මෙසේ ය.

“… ඉක්බිති එක්තරා භික්ෂුවක් තෙමේ ඇගේ ගුණ කථාව අසා ඈ නොදැක ශ්‍රවණ මාත්‍රයෙන් ඇය කෙරෙහි ස්නේහ උපදවා…” (59)

හිමින් සීරුවේ සිතට ඇතුළු වන ස්ත්‍රී සංඥාව පුරුෂයකුගේ හදවතට ඇතුළු ව කුමක් නම් නොකෙරේදැයි පඤ්ච තන්ත්‍රයේ මිත්‍ර භේදයේ ආෂාඩභූති කථාවේ පහත එන ශ්ලෝකය ද පෙන්වා දෙයි. අවබෝධ කටයුතු දෙය නම් මෙයට ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැති වීමයි.

“සංමෝහයන්ති මදයන්ති විඩම්බයන්ති
නිර්භර්ත්සයන්ති රමයන්ති විෂාදයන්ති
එතාඞ ප්‍රවිශ්‍ය සරලං හෘදයං නාරාණාං
කිං වා නු වාමනයනාං න සමාචරන්ති”

මනෝඥ නෙත් ඇති මේ කාන්තාවෝ මිනිසුන්ගේ මොළොක් වූ හෘදයට වැද කුමක් නම් නොකෙරෙත්ද? මුලාවට පමුණුවති. උමතු බවට පමුණුවත්. වංචාවට පමුණුවත්. නින්දාවට පමුණුවත්. රමණය කරත්. ඛේදයට පමුණුවත්. (පඤ්ච තන්ත්‍රය – මිත්‍රභේද කථා)

පසුව උන්වහන්සේ සිරිමා ව දැකීමට දන් සිඟන විලාසයෙන් පැමිණෙයි. එදින ම ලෙඩ ව, වෙව්ලන සිරිමා ව අමාරුවෙන් අවුත් පින් ලබා ගනියි. ඇය දකින භික්ෂුව සිතන්නේ ලෙඩ වූ මැය මෙපමණ ලස්සන නම් මීට පෙර ඇය කෙතරම් නම් සිත් වශී කරන්නියක් වී දැයි. මෙසේ ඈ කෙරෙහි ස්නේහ උපදවයි. රාගයෙන් මත් වන ඔහුට කෑම ද, දිවිය ද එපා වෙයි. දැවෙයි. තැවෙයි. ළතවෙයි. මුසප්පුව හිඳියි. මෙය අසන අපට සිහි වන්නේ ස්නේහයෙන් බැඳුණු බොළඳ සිතක හැඩරුවමැයි. ආතුර වූ පෙම්වතකුමැයි. මේ අතර සිරිමා ව මිය යන්නී බුදුන් වහන්සේ ඇයගේ දේහය බැලීමට සිතා භික්ෂුන් රැස් කරවයි. සිරිමා යන වදන ඇසූ පමණින් දින සතරක් සුන්බත් ව සිටි මේ භික්ෂුවට නව ජීවයක් ලැබෙයි.

“… එකල්හි උතුරු ගුණයෙන් දහර වූ ඒ ළාමක භික්ෂු තෙම වචන මාත්‍රයක් පමණවත් නොකොට සතර දිනක් සුන්බත්ව වැද හොත්තේය. පාත්‍රයෙහි තිබූ බත් කුණු වී මල නැංගේය. ඉක්බිති ඒ භික්ෂුවගේ යහළු වූ එක්තරා භික්ෂුවක් තෙමේ සමීපයට එළඹ’ ඇවැත්නි, විචාළේය. ‘සිරිමාව‘ යයි කී වචනයෙන්ම දවස් සතරක් අහර නොවළඳා එක් වචන මාත්‍රයක් පමණකුදු කියාගත නොහැකිව වාසය කළ ඒ භික්ෂු තෙමේ වහා නැගිට ‘මම යමි’යි පාත්‍රයෙහි තුබූ කුණු වූ බත් අස් කොට පාත්‍රය සෝදා පයියෙහි ලාගෙන භික්ෂු සංඝයා හා සමග මගට පිළිපන්නේ ය.” (60 – 61)

මෙය පුරුෂයන් විෂයෙහි ස්ත්‍රීන්ට ද පොදු වූවකි. එහි ස්වභාවය මේ කථාවෙන් මොනවට පැනෙයි. ස්ත්‍රී පුරුෂ මේ පැවැත්ම කොතරම් නම් අධ්‍යාත්ම ගත, දැරීමට අපහසු, ඉවසිය නොහෙන කරුණක් ද යන්න බුදුන් ද වදාළ අයුරු මෙනෙහි කිරීම මේ කරුණ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට තවදුරටත් ඉවහල් වන හෙයින් ඒ කරුණ ද මෙහි බහාලමි. අංගුත්තර නිකායේ චිත්ත පරියාදානවග්ගයේ එන පහත විවරණය ගැහැනියකට පුරුෂ රූපයක් තරම් සැපගෙන දෙන වෙනත් රසයක් මෙන් ම පුරුෂයකුට ස්ත්‍රී රුවක් කෙතරම් නම් රසවත් එකක් වන්නේදැයි අපට විස්තර කර දෙයි.

“නා හං භික්ඛවේ අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමි, යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ ඉත්ථිරූපං. ඉත්ථිරූපං භික්ඛවෙ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති.”

“නා හං භික්ඛවෙ අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමි, යං එවං ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භික්ඛවෙ පුරිස රූපං, පුරිස රූපං භික්ඛවෙ ඉත්ථියා චිත්තං පරියාදාය තිට්ඨති.” (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා)

ගුත්තිල, රජ්ජුමාලා ආදී තවද මෙබඳු ම කතා කිහිපයක් මෙලෙස ම අරුම සිතක පුදුම සිතුවිලි විවරණය කළ ද ඒවා පිළිබඳ ඇති පදම් ලියැවී ඇති හෙයින් මෙහිදී අපගේ අවධානය යොමු නොවී ය.

පැරණි කථා වුවද ඒවායේ හරය අප අප විෂයෙහි ම නැවත අවදි කරවයි. අපගේ සිත් සතන් ම නැවත ප්‍රශ්න කරවයි. වඩා විමසිලිමත් ව අප අප දෙස ම බැලීමට පොලඹවාලයි. අනුන් තුළින් ද අප ව ම දැකීම සෙවීම වඩාත් ම වැදගත් දෙයයි. එවිට පුදුම හිතක ඇති පුදුම බලය අවබෝධ වනු නිසැකි.

                                                                                                                 පුවත්පතක් ඇසුරිනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s