ශ්‍රී ලංකාවේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය..

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වූයේ 1972 දීය. කෙසේනමුත්, වසර කීපයක් ගතවන විට, 1978 වසරේදී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය.

මේ වන විට 1978 දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 19 ක් හඳුන්වා දී ඇති අතර ඒ සියල්ල මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර, 2015 මැයි මස සම්මත වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බොහෝ‍ දෙනාගේ ප්‍රසාදයට හේතු වූ අතරම, මෙයින් විධායක බලය සීමා කිරීමක් හෝ කපා හැරීමක් සිදුවී නැති බව ඇතැම් නීති විශාරදයන් සහ දේශපාලනඥයන්ගේ මතයයි. එමෙන්ම, සංශෝධනය තුළ අපැහැදිලි තැන් ද බොහෝමයක් දක්නට ලැබෙන බවට මත පළ වී තිබේ.

දැනට වසර කීපයකට පෙර සිට ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගත් දේශපාලන ක්‍රමයක් පිළිබඳ කතිකාවක් ගොඩ නැඟෙමින් පවතින අතර, පුළුල් බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය සීමා කිරීම හෝ අහෝසි කිරීමට දේශපාලනික වශයෙන් සහ සිවිල් සමාජය වෙතින් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී.

1978 ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ “ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි” යනුවෙන් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වරක් ප්‍රකාශ කළේය.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක බලතල

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් විය.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් එම වගන්ති ඉවත් කර තිබෙන අතර, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැණි නොවුණ ද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වී, අනතුරුව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ.

කෙසේවෙතත්, ඉහත කී සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය.

19 වෙනි සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වෙනස් කෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර ,පෙර පැවති වසර හයක ධූර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත. එමෙන්ම, දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය.

ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වු ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත.

එමෙන්ම, රාජ්‍ය පරිපාලනයට අදාළ කොමිෂන් සභා පිහිටුවීම, අධිකරණ විනිසුරුවරයන්, නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී පෙර පැවති ජනාධිපති බලය සීමා කර තිබේ.

ජනාධිපති බලතල යටතේ අමාත්‍යාංශ මෙහෙයවීම ව්‍යවස්ථානුකූල ද?

19 වෙනි සංශෝධනයේ 51 වෙනි වගන්තිය අනුව, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැණිව කුමක් සඳහන් වුවද ජනාධිපති ධුරය දරණ තැනැත්තා, එම කාලය අවසන් වන තෙක් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවාට අදාළ කාර්යයන් තමන් යටතට පවරා ගත හැකිය. එකී කාර්යය ඉටු කිරීමට ඔහු හෝ ඇය වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කිරීම ද කළ හැකිය.”

“ජනාධිපතිවරයාට තමන් යටතේ තියා ගන්න පුළුවන් අමාත්‍යාංශ ගැන මේ වනතෙක් කිසි කෙනෙක් අභියෝගයට ලක් කරලා නැහැ,” යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් වරක් පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීම පිළිබඳ අදහස් විමසූ විට ජනාධිපති නීතිඥවරයා කියා වරක් කියා සිටියේ , “පොලිසිය විතරක් නෙමෙයි, ආරක්ෂක අමාත්‍යාංශය යටතට විශේෂ කාර්ය බලකාය, පාතාලය මර්දනය, හෙරොයින් ඇතුළු නීති විරෝධී මත් ද්‍රව්‍ය මර්දනය වගේ කාර්යත් අයත් වෙනවා. ඒ සියල්ල ජාතික ආරක්ෂාව අදාළ දේවල්. ඒ නිසා පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමේ වැරද්දක් නැහැ. එයට අවශ්‍ය නීතිමය රාමුව 19 වෙනි සංශෝධනයෙන් ලැබී තිබෙනවා” ඔහු තවදුරටත් පවසා ඇත.

කෙසේවෙතත්, 19 වෙනි සංශෝධනයේ 50 (අ) වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කර්තව්‍යයක් පවරා ගත හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වන අතර, ඔහු යටතේ තබා ගත යුතු අමාත්‍යංශ තීරණය කළ හැකි වන්නේ ද එවැනිම එකඟත්වයක් මතය.

එමෙන්ම, 42, 43 සහ 44 වගන්තිවල සඳහන් වන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවල දී ඔහුගෙන් අදහස් විමසා අමාත්‍ය ධූර සංඛ්‍යාව, අමාත්‍යාංශ සංඛ්‍යාව සහ එකී අමාත්‍යවරුන්ට පවරන විෂය පිළිබඳ තීරණය කළ යුතුය.

“43 සහ 44 වගන්තිවලට අනුව ජනාධිපතිට පුළුවන් අමාත්‍යාංශ වෙනත් අයට භාර දෙන්න. නමුත් 19 වෙනි සංශෝධනයේ අවසාන වගන්තියෙන් (51 වෙනි වගන්තිය) විෂයන් තුනක අමාත්‍යංශ ජනාධිපති යටතේ තබා ගන්න පුළුවන් බලතල දීලා තිබෙනවා” යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ආචාර්ය දිනේෂා සමරරත්න වරක් පවසා ඇත.

“අවසාන වගන්තියේ සඳහන් විෂයන්වලට අදාළ නොවන අමාත්‍යාංශ ජනාධිපතිතුමා යටතට ගැනීම කළ නොහැකියි. නමුත්, මේ වගන්තිවල සඳහන් සියල්ල යම් කෙනෙකු අභියෝගයකට ලක් කළ අවස්ථාවක දී අර්ථ නිරූපණය කරන්න පුළුවන්” ඇය තවදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත් “හැබැයි මෙහෙම දෙයක් තිබෙනවා. මාධ්‍ය වැනි විෂයයක් ජනාධිපති යටතට ගන්නව නම් එතන දී ප්‍රශ්නයක් මතු වෙනවා” යැයි ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් පවසා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු ආකාරය

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XII පරිඡේදය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු ආකාරය දක්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පූර්ණ බලතල හිමි වන්නේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට වන අතර, ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පරික්ෂා කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කළ හැකි ක්‍රමවේද දෙකක් පිළිබඳ එහි සඳහන් වී තිබේ.

ඉන් පළමුවැන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතිය මත ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකි වීමය.

දෙවැන්නට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතියට අමතරව ජනමතවිචාරණයක් ද සිදු කළ යුතුය. විශේෂයෙන්ම ජාතික වැදගත්කමින් යුත් කාරණා ජනමතවිචාරණයක් සඳහා යොමු කෙරේ.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහයට හා ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරයේ සංශෝධනයක් සිදුකිරීමේ දී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක දී දෙවෙනි ක්‍රමවේදය අනුගමනය කළ යුතුය.

19 වෙනි සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින්, විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බව තීන්දු කරන ලදී.
මෙම තීන්දුවෙන් පසු විධායක බලය අගමැතිට ලබා දීම සම්බන්ධයෙන් වූ වගන්ති එකී කෙටුම්පතින් ඉවත් කර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත පමණක් අවශ්‍ය වන වගන්ති සහිත සංශෝධයන් සම්මත කර ගැනීමට හිටපු ආණ්ඩුව ක්‍රියා කරන ලදී.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය

1972 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වීමෙන් පසු පළමුවන සංශෝධනය 1978 සිදු කරන ලද්දේ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන යටතේය.

දෙවන සංශෝධනය 1979 දීත් තෙවන හා සිව්වන සංශෝධන 1982 දී සිදුවිය.1983 දී පස්වන, සයවන හා සත්වන සංශෝධන සිදු විය.

අටවන සහ නවවන සංශෝධන සිදු කරන ලද්දේ 1984 දීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දසවන සංශෝධනය සිදු කරන ලද්දේ 1986 දී වන අතර, එකෙළොස්වන සංශෝධනය සිදු වූයේ 1987 දීය.

දොළොස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොවූ අතර, ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 1987 දී හඳුන්වා දෙන ලදී.

දාහතර, පහළොව සහ දාසය වෙනි ව්‍යවස්ථා සංශෝධන 1988 දී ක්‍රියාත්මක විය.

එවකට විධායක ජනාධිපති ධුරය හිමිව තිබූ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යටතේ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2001 වසරේදී සිදු කරන ලදී.

එම සංශෝධනය බල රහිත කරමින් 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2010 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කළේය.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධයන ක්‍රියාත්මක කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගෙන ගිය පසුගිය ආණ්ඩුව විසිනි.

19 වෙනි සංශෝධනයේ වැදගත් වන තවත් කරුණු

19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් “තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඇති අයිතිය” මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කළේය. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තෙවන පරිඡේදයේ සඳහන් මූලික අයිතිවාසිකම්වලට නව එකතු කිරීමක් ලෙස හැඳින්විය හැකිය.

14 (අ) වගන්තිය අනුව, සෑම පුරවැසියෙකුටම, රජයට, රාජ්‍ය අමාත්‍යංශයකට හෝ දෙපාර්තමේන්තුවකට, පළාත් සභා ප්‍රඥප්තීන්ට අනුව පිහිටුවනු ලැබූ ආයතනයකට, පළාත් පාලන ආයතනයකට, පුරවැසියකුගේ අයිතීන් ක්‍රියාත්මක කිරීම සඳහා හෝ ආරක්ෂා කිරීම සඳහා යම් තොරතුරක් ඇත්නම්, නීතියේ සලසා ඇති පරිදි තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම ඇත.

(සංක විදානගේ ෆේස්බුක් පිටුව ඇසුරිණි)

This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s