පාඩම් මතක තබාගන්නා පහසුම ක්‍රම..

Screenshot_2020-02-22-17-37-49-1
                   මතකය යනු තොරතුරු කේතාංකනය කිරීම, ගබඩා කිරීම සහ නැවත ලබා ගැනීම සිදු කෙරෙන මනසට අයත් ඉන්ද්‍රියය යි. මතකය අත්දැකීම් සඳහා අත්‍යවශ්‍ය වන අතර limbic පද්ධති වලට සම්බන්ධ වී ඇත, එමෙන්ම එමගින් අනාගත ක්‍රියාවලට බලපෑම් කිරීමේ අරමුණින් කාලයක් පුරා තොරතුරු ධාරණය කර තබාගනී. මනෝ විද්‍යාවේ මතකය යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට , රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි. 
අපි ඉපදුන දා පටන් මැරෙන දවස වෙනකන්ම ඉගෙනගන්නව. ඉගෙන ගැනීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනව. විධිමත් ඉගෙනුම සහ නොවිදිමත් ඉගෙනුම. නොවිධිමත් ඉගෙනුමට අදාළ වෙන්නෙ අපි එදිනෙදා ජීවිතයේ අත්දැකීම් මගින් ඉගෙනීම. විධිමත් ඉගෙන ගැනීම කියන්නෙ නිශ්චිත විෂය මාලාවකට අනුව අපි ලබන අධ්‍යාපනය. අපි පාසල් වල, සරසවියෙදි ලබන්නෙ විධිමත් අධ්‍යාපනය.  විධිමත් ඉගැනුමේදී අපිට අනිවාර්යෙන් මුහුණ දෙන්නට වෙන අභියෝගයක් තමයි විභාග. එම විභාග සමත් වෙන්න නම් අපි විෂය කරුණු මතකයේ තබාගන්න අවශ්‍ය වෙනව. අපි මේ ලිපියෙදි අවධානය යොමු කරන්නේ විධිමත් ඉගෙනගැනීමේදී මතක තබා ගැනීම සඳහා උදව් කර ගත හැකි ක්‍රම 10 ක් පිළිබඳව.

1. ඔබේ විෂය කරුණු කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කරන්න.

 
අවධානය, අවධානය අවධානය.  මතක තබා ගැනීම සඳහා ඉතා වැදගත් අංගයක් තමයි අවධානය.අපට ලැබෙන තොරතුරු අපේ කෙටි කාලීන

මතකයේ සිට දිගු කාලීන මතකයට අතුල් කිරීමට අවධානය අත්‍යාවශය වූවක්. එනම් තොරතුරු පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම. නිතරම අවධානය රඳවා ගැනීම සඳහා රූපවාහිනිය, රේඩියෝව වැනි උපකරණවලින් බාධා ඇති නොවන ස්ථානයක් පාඩම් කිරීම සඳහා යොදා ගන්න. අවට පරිසරය නිරවුල් සහ සාමකාමී වීම අප අවධානය රඳවා ගැනීමට පැහැදිළිව බලපානු ලබනව. එමෙන්ම අපේ අභ්‍යන්තර නිරවුල් බවත් ඉතා වැදගත්. විශේෂයෙන් අපේ පිරිසිදු බව. ස්නානය කර පිරිසිදු වී පාඩම් කරන විට අප අවධානය යොමු කිරීම වඩා සක්‍රීය බව පර්යේෂණයන් පෙන්වාදෙනව.

2.එක දිගට කට පාඩම් කිරීමේ ක්‍රමය අත්හැර ක්‍රමානුකූල වාර ක්‍රමයක් භාවිත කරන්න.

කාල රාමුවකට අනුව විවේක ලබා ගනිමින් පාඩම් කිරීම එක දිගට කරනු ලබන වෙහෙසකර පාඩම් කිරීමට වඩා ඵලදායී බව පර්යේෂණයන් මගින් තහවුරු කරයි. මැරතන් එකක් දුවන අයුරින් පාඩම් කිරීම ඵලදායී නොවන බව මෙම පර්යේෂණ අපට පෙන්වා දෙයි.අපට අහන්න දකින්න ලැබෙනව අපේ සමහර යහළුවො එක දිගට පැය ගණන් නිදිමරාගෙන පාඩම් කරනව.  සමහරවිට අපිත් එහෙම කරනව. ඒත් බොහෝ විට එයින් අප බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලැබෙන්නෙ නෑ. එයට හේතුව තමයි මිනිහෙකුට යම් දෙයක් කෙරෙහි එක දිගට අවධානය රඳවා ගත හැකි කාලය සීමා සහිත වීම.

නීරෝගී වැඩිහිටියෙකුට එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කරගෙන සිටීමට හැකි උපරිම කාලය මිනිත්තු 30 ත් 40 ත් අතර කාලයක්. ඉන් පසු අප කොපමණ පාඩම් කලත් බොහෝ විට එය නිශ්ඵල උත්සහයක්. එම නිසා හොඳම ක්‍රමය වන්නේ වාර ක්‍රමය භාවිත කිරීම. එනම් මිනිත්තු 30 ක් පමණ පාඩම් කිරීමෙන් අනතුරුව විනාඩි 5ක 10ක විවේකයක් ලබා ගැනීම. මෙම විවේකයේදි ගීතයක් ශ්‍රවණය කිරීම, නිවසින් පිටතට ඇවිද ඒකාකාරී බව නැති කර ගැනීම, වැනි දෙයක් කරන්න පුළුවන්. ඉන් පසු නැවත පාඩම් කිරීම ආරම්භ කරන්න පුළුවන්.

3. ඔබේ විෂය කරුණු නිතරම සංවිධානය කරන්න.

පර්යේෂණයන් පෙන්වාදෙන්නේ නිතරම අප තොරතුරු මොළය තුළ ඊට අදාල කොටසට ගමන් කරන බවයි. එනම් තොරතුරු කාණ්ඩ වශයෙන් පවතින බවයි. අප පාඩම් කිරීමේදී මෙයින් ප්‍රයෝජන ලබා ගත හැකිය. නිතරම අපේ තොරතුරු ඊට අදාළ කාණ්ඩය වෙත යැවීම තුළින් අපට පහසුවෙන් මතක තබා ගත හැකි වෙයි. සාමාන අදහස් දනවන සංකල්ප නිතරම එක්  කාණ්ඩයකට ඒකරාශී කිරීමට උත්සහ කරන්න.
උදා :-  හපුතලේ, කැළණි,වික්ටෝරියා, හන්තාන,විමලසුරේන්ද්‍ර,මහවැලි, ලක්ෂපාන,පිදුරුතලාගල,මැණික්
ඉහත වචන සමූහය අපට මේ අකාරයෙන් තිබෙන විට මතක තබා ගැනීම ඉතා අපහසු කටයුත්තකි. එනමුත් අපට එම වචන පහත අකාරයට අදාළ කාණ්ඩ වලට වෙන් කර සංවිධානය කර ගැනීම මගින් මතක තබා ගැනීම පහසු වේ.
ගංගා – කැළණි, මහවැලි, මැණික්
කඳු – හපුතලේ, හන්තාන, පිදුරුතලාගල
විදුලි බලාගාර – වික්ටෝරියා, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන

නිතරම අප මොළය සංවිධානය කරන ලද තොරතුරු පහසුවෙන් මතක තබා ගනී.

4. තොරතුරු මතකයේ තබා ගැනීමට ස්මෘති උපක්‍රම (mnemonic devices) භාවිත කරන්න.

ස්මෘති උපක්‍රම යනු තොරතුරු නැවත මතකයට නගා ගත හැකි සරල උපක්‍රමයන්ය.  උදාහරණයක් ලෙස ඔබට මතක තබා ගත යුතු කරුණු ඔබට ඉතා සමීප දෙයක් සමග සම්බන්ධ කර මතක තබා ගන්න. වඩා සාර්ථක ස්මෘති උපක්‍රම වන්නේ උපහාසය දනවන එළි සමය අනුව යන කවි, ගීත හෝ කුඩා වාක්‍ය කණ්ඩ ආදියයි.
උදා :- අප නිතරම භාවිත කරන ස්මෘති උපක්‍රමයක් වන්නේ දිශා මතකයේ රඳවා ගැනීමට ඇති කෙටි වාක්‍යයි.
උපුල් ඊලඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්
මින් අට දිශාවන් වන උතුර, ඊසාන, නැගෙනහිර, ගිණිකොන, දකුණ, නිරිත, බස්නාහිර සහ වයඹ යන ඒවා පහසුවෙන් මතකයට නගා ගනී.

5. අවබෝධයෙන් සහ සවිස්තරාත්මකව පාඩම් කරන්න.

අවබෝධයක් නොමැතිව පාඩම් කරන දෑ මතකයේ ‍රැඳී නොසිටියි. අප පාඩම් කළ දෙයක් නැවත මතකයට නගා ගැනීමට නම් අප එය දිගු කාලීන මතකයේ තැන්පත් කර තැබිය යුතුයි. එලෙස දිගු කාලීන මතකයට අප තොරතුරු ඇතුළත් කිරීමේ වඩා සාර්ථක උපක්‍රමයක් ලෙස අවබෝධයෙන් යුතුව පාඩම් කිරීම සැලකිය හැකිය. අවබෝධයක් නොමැතිව පාඩම් කරන දෑ මතකයේ ‍රැඳී නොසිටියි.
මේ සඳහා උදාහරණයක් ලෙස විෂය කරුණක්  මතකයේ රඳවා ගැනීමට අවශ්‍ය නම් පළමුව එම  කරුණ නිර්වචනය කරගන්න. ඉන් පසු එය පිළිබඳ තව විස්තර කියවමින් අධ්‍යනය කරන්න. මේ අකාරයට කිහිප වරක් කිරීමෙන් ඔබට පහසුවෙන් මතක තබාගත හැකි බව ඔබට වැටහෙනු ඇත.

6. ඔබ පෙර ඉගෙනගත් කරුණු සමග නව තොරතුරු ගලපන්න.

 
අලුත් යමක් පාඩම් කරන විට නිතරම ඔබ උගත් පැරණි කරුණු හා මේවා අතර ඇති සම්බන්ධය සොයන්න. එලෙස නව කරුණු සහ පැරණි කරුණු
අතර සම්බන්ධය සොයාගැනීමෙන් ඒවා නැවත මතකයට නගා ගැනීම ඉතා පහසු වේ.  අලුත් කරුණ නිසා පැරණි කරුණ හෝ පැරණි කරුණ නිසා අලුත් කරුණ නිරායාසයෙන් මතකයට නැගේ.
උදා :-  ඔබ ලෝක ඉතිහාසය පිළිබඳ පාඩම් කරමින් සිටින විට ඊශ්‍රායලය 1948 නිදහස ලැබූ බව සඳහන් වෙයි. එවිට ඔබ එය ඔබ දන්නා පැරණි කරුණක් සමග ගලපයි. එනම් ලංකාවද 1948 නිදහස ලබයි. ඉන් පසු ඔබට ශ්‍රි ලංකාවේ නිදහස් දිනය මතකයට නැගෙනවිට ඊශ්‍රායලයේ නිදහස් දිනයද, ඊශ්‍රායලයේ නිදහස් දිනය මතකයට නැගෙන විට ශ්‍රී ලංකාවේ නිදහස් දිනයද නිරායාසයෙන් සිහියට පැමිණෙයි.

7. මතක තබා ගැනීම සඳහා මානසික චිත්‍ර උපයෝගී කරගන්න.

බොහෝ විට සාර්ථක ක්‍රමවේදයකි පාඩම් කිරීමේදී මානසික චිත්‍ර භාවිතය. මානසික චිත්‍රයක් යනු අප යම් පින්තූරයක් ආකාරයට මතක තබා ගැනීමයි.  මානසික චිත්‍ර භාවිතයේදී බොහෝ විට සාර්ථක වන්නෙ රූප සටහන්, වගු, ප්‍රස්ථාර වලදීය. එම නිසා ඔබේ දීර්ඝ ඡේද ආකරයේ විෂය කරුණු එවැනි වගු, රූප අසටහන්, ප්‍රස්ථාර ආදියට පරිවර්තනය කරගන්න. තවද ඔබේ සටහන් තුළම වර්ණ පෑන් යොදාගනිමින් වැදගත් කරුණු විශේෂීකරණය කිරීමද මෙහිදී සාර්ථකය. එවිට ඔබට ඒවා මානසික චිත්‍ර ලෙස මතකයට පැමිණේ.
උදා :- ලංකාවේ පිහිටීම ඔබට එක්වරම මතක් වන්නේ ලෝක සිතියමක් මනසින් චිත්‍රනය කිරීම මගිනි.

8. ඔබ උගත් දෑ තව අයෙකුට උගන්වන්න.

පර්යේෂණ මගින් පෙන්වාදෙනුයේ ශබ්දනගා කියවීම මතක තබා ගැනීමේදී සාර්ථක ක්‍රමයක් වන බවයි. මනෝවිද්‍යාඥයින් හෙළිකරගෙන ඇති තවත් කරුණක් වනුයේ අප උගත් දෙයක් තවත් අයෙකුට කියා දෙන විට ඒ සම්බන්දයෙන් අපගේ අවබෝධය සහ මතකය වර්ධනය වන බවයි. ඔබගේ යහළුවෙකුට ඉගැන්වීම මගින් මෙය ක්‍රියාවේ යෙදිය හැක. එය ඔබ උගත් දෑ පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කරනු ඇති අතරම මතකයද වර්ධනය කරනු ඇත.

9. අසීරු කරුණු වලදී වැඩිපුර කාලය වැය කරන්න.

 
නිතරම පරිච්ඡේදයක මුල් සහ අවසාන කරුණු පහසුවෙන් මතකය තුළ තැන්පත් වෙයි. අතර මැද ඇති කරුණු මතකයට නගා ගැනීම අපහසු කටයුත්තක් බව පර්යේෂණ පෙන්වා දෙයි. මෙහිදී අමතර කාලයක් මෙම අපහසු කරුණු සඳහා යෙදවීම මගින් ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකිය. නිතරම පාඩම අමාරු වන විට අමතර කාලයක් ඒ සඳහා වැය කරන්න.

10. ඔබ පාඩම් කරන ආකාරය නිතරම වෙනස් කරන්න.

මතකය වර්ධනය කරගැනීමේ තවත් ක්‍රමයක් වන්නේ කලින් කලට ඔබ පාඩම් කරන ක්‍රමය වෙනස් කිරීමයි. උදාහරණයක් ලෙස ඔබ නිතරම එකම ස්ථානයක සිට පාඩම් කරන්නේ නම් එයින් මිදී වෙනත් ස්ථානයකට ගොස් පාඩම් කරන්න. ඔබ පාඩම් කරන්නේ හවස නම් උදෑසන පාඩම් කළ දෑ නැවත සිහිපත් කරන්න උත්සහ ගන්න. මේ අයුරින් පාඩම් කරන ආකාරය කලින් කලට වෙනස් කිරීම මගින් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.
ඉහත සඳහන් කර ඇත්තේ මතක තබා ගැනීමේ උපක්‍රම අතුරින් කිහිපයකි. එම ක්‍රම උපයෝගී කරගනිමින් ඔබ ඔබේ කටයුතු සාර්ථක කරගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
(උපුටාගැනීමකි)
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s