”කුරුලු දරුවා”

ක් මවකට හා පියකුට ඉතා දක්ෂ දරුවෙක් සිටියේ ය. ඔහු ගේ නම වසීලි ය. ඔහු කෙතරම් දක්ෂ ද යත් කුරුල්ලන් ගේ භාෂාව පවා දැන සිටියේ ය.

දිනක් මාපියන් සමඟ වසීලි අහර ගනිමින් සිටිනා’තර එක් කොවුලෙක් ඔවුන් වෙත පැමිණ මිහිරි හඩින් නද දෙන්නට විය. වසිලිට කුරුල්ලා පවසන දෙය වැටහිණි.

”පුතේ මේකා මොනවා කියනවාදැයි අපටත් කියාපං”

”එය කියන්නට බයයි”

”බය නොවී කියාපං” මාපියෝ ඔහු පෙලැඹවූහ.

”යම් දිනෙක පියා මට දිය සපයමින් ද මවු මා සාළුවකින් පිස දමමින් ද මා හට සේවය කිරීමට නියමිත බව කුරුල්ලා කියනවා.”

මෙබස ඇසූ සැණින් මාපියෝ වසීලි හා උරණ වූහ. ඔවුන්ට දැන් කෙසේ හෝ දරුවාගෙන් ගැලවෙන්නට වුවමනා ය. කුඩා ඔරුවක් තැනූ ඔවුහු දරුවා එහි දමා මුහුදේ පා කර හැරියෝ ය.

ඒ ඔරුව මුහුදුබත් නො වී ය. එය සුවසේ එක්තරා ගොඩබිමකට සේන්දු විය. වසීලි තුරුණු වියට එළැඹෙත්ම ඔහු ගේ දස්කම් ද තව තවත් දියුණු විය. ඔහු කුරුලු බස මැනැවින් ප‍්‍රගුණ කෙළේ ය.

ඔහු ගේ මේ හැකියාව රට පුරා පතළ විය.

එකල ඒ රටේ රජතුමා විසඳගත නොහැකි ගැටලුවකට මැදි ව සිටියේ ය. කුරුලු යුවළක් රාජ මන්දිරයේ තැනූ කූඩුවක ය. ඔවුනට පැටියකු ද සිටී. මා පිය කුරුල්ලෝ හැමවිට ම මහා හඩින් හඬ දෙති. එතැන නිරන්තර කලබැගෑනියකි. ඔවුන් මැදුරෙන් පිටතට ගත හැකි ද නො වේ.

මේ අතර වසීලි පිළිබඳ මේ රජතුමාට ද දත හැකි විය. අරුම පුදුම කුරුලු කරදරය විසඳීම රජතුමා වසීලිට භාර කෙළේ ය. “රජතුමනි මේ කුරුලු යුවළට දරුවා පිළිබඳ අයිතිය ගැන ගැටලුවක් ඇතිවෙලා. ඔබතුමා තීරණය දෙන්න. දරුවා කාටද?”

”පියාට”

මේ පිළිතුර සමඟ ම කුරුලු පැටවා පියා සමඟ පියාඹා ගියේ ය. මවු ඊට විරුද්ධ දිශාවට පියසැරූ විට කුරුලු කරදරය නිමා විය. අතිශය සතුටට පත් රජතුමා වසීලිට සිය රාජධානියෙන් අඩක් ද දී තම දූ කුමරිය ද සරණ පාවා දුනි.

වසීලි ඉතාමත් සතුටින් මාලිගයේ කල්ගත කරන අතර ඔහුට විදේශ සංචාරයන් හි දොලක් ඉපැදිණි. රජතුමා ඒ සඳහා සිය කළමනා සම්පූර්ණ කෙළේ ඉතා කැමැත්තෙනි.

එසේ නැව් නැගී සංචාරය කරන වසීලි එක්තරා රටක නගරයකට ගොඩ බට විට වියපත් පුරුෂයෙක් ඔහුට පැන් ගෙනැවිත් තැබුවේ රජතුමා ගේ විඩාව නිවනු පිණිස ය. ඒ හා සමඟ ම මහලු කතක් සාළුවකින් ඔහු පිස දැමුවා ය. වසීලිට එසේ සිය මාපියන් යළි මුණ ගැසිණි.

සංගීත රාජධානිය………….

ක් රජකුට දියණිවරු සත් දෙනෙක් සිටියෝ ය. රජු ගේ බිරිය මිය ගොසිනි. මේ දියණියෝ රාති‍්‍රයේ දී අතුරුදහන් වෙති. ඔවුහු කොහේ දෝ යති. උදෑසන යළි පැමිණෙති. කිසිවකුට මේ ගමන වැළැක්විය හැකි නො වේ. එය මහා අබිරහසකි.

රජුට මේ ගමන නවත්වන්නට වුවමනා ය. එහෙත් එය කළ හැකි නොවේ. මේ අබිරහස හෙළිදරව් කර ගැනීමට එරට විසූ එක් දිළිඳු තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු සතු ව මායාකාරී තොප්පියක් තිබිණි. එය පැළැඳි විට තරුණයා නොපෙනී යයි.

පිය රජුගේ අනුදැනුමින් යුතු ව තරුණයා රාත‍්‍රි කාලයක දී මාලිගාවට ඇතුළු විය. මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. කුමාරියෝ ගමනට සූදානම් වූහ. ඔවුහු වටිනා වස්ත‍්‍ර හැඳ, වටිනා සැරසිලි කළහ. වැඩිමහල් සොහොයුරිය සිය යහන පසෙකට කළ විට එතැන අබිරහස් දොරටුවක් මතු ව ආවේ ය. මායාකාරී හිස්වැස්ම පැළඳ ගත් තරුණයා මේ සියල්ල දුටුවේය.

විවර වූ අබිරහස් දොරටුවෙන් කුමාරියෝ ඇතුළු වූහ. එතැන වූ පිය ගැට පෙළ අවසානයේ සංගීත රාජධානිය හමුවිය. එහි සංගීතය වැයේ. ඒ හඬ අතිශය මියුරු විය.

මේ රාජ කුමාරියන් හට සිය පිය රජු ගේ රාජධානියෙහි සියලු ඉසුරු තිබූ නමුත් වින්දනයට යමක් තිබුණේ නැත. පිය රජතුමා සංගීතය ප‍්‍රිය නො කෙළේ ය. එහෙයිනි මේ දූ කුමාරියන් සංගීත රාජධානිය සොයා පැමිණ තිබුණේ.

මේ රාජධානියේ රන්වන් රෝස පිපේ. තරුණයා එයින් එකක් ද නෙළා ගත්තේ රජතුමාට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නට යි.

රැය පහන් වන තුරුම මධුර සංගීත ස්වර  අසමින් ගත කළ දූ කුමාරියෝ යළි උදාසන මාලිගයට ආහ. තරුණයා ද යළි ආවේ ය. කිසි ම අයකුට ඔහු පෙනුණේ නැත.

දැන් තරුණයා ගේ වාරය යි. ඔහු සියලු කරුණු රජතුමාට හෙළි කෙළේ ය. ධනවත් වීමට නම් පාවා දීම් කළ යුතු  බව ඔහු දැන සිටියේ ය. ඔහු ගේ පාවා දීම අකුරට ම වැඩ කළේ ය.

සිය රාජධානියෙන් අඩක් ද, ළාබාල ම කුමරිය ද ඔහුට රජතුමාගෙන් තිළිණ සේ ලැබිණි. ඔහු මේ කුමරිය සිය බිරිය කොට ගෙන සතුටින් දිවි ගෙවී ය. එහෙත් කුමරිය සතුටින් දිවි ගෙව්වා දැයි කිසිවෙක් නොදනී.

පුංචි කතාවක්……

මෙය සිදුවූයේ ඉතා ඈත කාලයකදී ය. එක්තරා අඹුසැමි යුවළකට දරුවෝ නැත්තා හ. ඔවුහු කෙමෙන් මහලු වියට ද එළැඹුණා හ. මැහැල්ල හැමවිට ම කවුළුවෙන් පිටත බලමින් සුසුම් හෙළමින් සිටිනු දකින මහල්ලා ගේ සිත ද මහා දුකකින් පිරිණි. ඔවුනට සියල්ල තිබිණි. නොතිබුණේ සිතේ සතුට පමණි. ඒ දරුවකු නොමැති හෙයිනි.

මෙසේ හිම කාලය ද එළැඹිණි. එවිට මහල්ලා සිය බිරිය අමතා මෙසේ කීය;

”හැමදාම මෙහෙම ඉඳලා බෑ. යමු අපි මේ හිමෙන් දරුවකු තනමු. යමු.”

මැහැල්ල ගේ සිත සතුටින් පිරිණි. එය හොඳ යෝජනාවකි. ඔවුහු වහා හිම ගොඩැල්ල මැදට වැදී හිමෙන් දැරියක හිමෙන්  සෑදූහ. දැඩි ශීතය මැද හිම දැරිය සුදු නිල් පැහැයෙන් යුතු ව ගොඩ නැඟුණා ය. ඈ රච්කා යි.

පණ ලැබූ  රච්කා ද රැගෙන දෙමහල්ලෝ සිය නිවසට වන්හ. ඔවුහු ඉහවහා ගිය සතුටින් යුතු වූහ.

කලක් ගෙවිණි. ග්‍රීෂ්මය එළැඹිණි. හිම දියවිණි.

රච්කා දුකිනි. හේමන්ත මල් පිපී හාත්පස සුවඳ විහිදෙද්දී ඈ දුකින් ගෙතුළට වැදී සිටියා ය. හිරු එළිය ඈට හිරිහැරයකි.

යහළු යෙහෙළියෝ ඈ වෙත’විත් ඈ සෙල්ලමට කැඳවූහ. රච්කා අකැමැත්තෙන් මෙන් ඔවුන් සමඟ නික්මුණා ය.

යෙහෙළියෝ අසල කැලෑවට වන්හ. ඔවුහු වනමල් නෙළූ හ. මාලා ගෙතූහ. රච්කා අසල වූ කුඩා දිය කඳුර වෙත ගොසින් මහත්වූ ආශාවෙන් දිය බිඳු දෝතට ගෙන ඒවා හා සෙල්ලම් කළා ය.

මේ අතර ඇගේ මිතුරෝ ගිනිමැලයක් දැල්වූහ. එය සරුවට ඇවිලිණි. කුඩා කෙල්ලෝ ගිනිමැලය මතින් එහා මෙහා පනින්නට වූහ.

”රච්කා එන්න. එන්න. සෙල්ලම් කරමු” ඔවුන් ගේ ඇවිටිලි නිමා නොවූ තැන  රච්කා ගිනිමැලය වෙත ගියා ය. ඒ මතින් පැන්නා ය.

එවිට ඈ දිය වී කඩා හැලෙන්නට වූවා ය. ගිනිමැලය මත කුඩා වලාකුළක් සෑදිණි. එය අහසට ම එසැ වී ක්‍රමයෙන් නොපෙනී යන්නට විය.

රච්කා තවදුරටත් මෙලොව නොමැති විය.

දෙමහල්ලෝ හඬා වැළපී යමක් අවබෝධ කරගත්හ. එනම් ස්වභාවධර්මයා ට එරෙහිවීමට කිසිවකුට නොහැකි බව ය.