Tag Archive | ජීවිතය

”කුරුලු දරුවා”

ක් මවකට හා පියකුට ඉතා දක්ෂ දරුවෙක් සිටියේ ය. ඔහු ගේ නම වසීලි ය. ඔහු කෙතරම් දක්ෂ ද යත් කුරුල්ලන් ගේ භාෂාව පවා දැන සිටියේ ය.

දිනක් මාපියන් සමඟ වසීලි අහර ගනිමින් සිටිනා’තර එක් කොවුලෙක් ඔවුන් වෙත පැමිණ මිහිරි හඩින් නද දෙන්නට විය. වසිලිට කුරුල්ලා පවසන දෙය වැටහිණි.

”පුතේ මේකා මොනවා කියනවාදැයි අපටත් කියාපං”

”එය කියන්නට බයයි”

”බය නොවී කියාපං” මාපියෝ ඔහු පෙලැඹවූහ.

”යම් දිනෙක පියා මට දිය සපයමින් ද මවු මා සාළුවකින් පිස දමමින් ද මා හට සේවය කිරීමට නියමිත බව කුරුල්ලා කියනවා.”

මෙබස ඇසූ සැණින් මාපියෝ වසීලි හා උරණ වූහ. ඔවුන්ට දැන් කෙසේ හෝ දරුවාගෙන් ගැලවෙන්නට වුවමනා ය. කුඩා ඔරුවක් තැනූ ඔවුහු දරුවා එහි දමා මුහුදේ පා කර හැරියෝ ය.

ඒ ඔරුව මුහුදුබත් නො වී ය. එය සුවසේ එක්තරා ගොඩබිමකට සේන්දු විය. වසීලි තුරුණු වියට එළැඹෙත්ම ඔහු ගේ දස්කම් ද තව තවත් දියුණු විය. ඔහු කුරුලු බස මැනැවින් ප‍්‍රගුණ කෙළේ ය.

ඔහු ගේ මේ හැකියාව රට පුරා පතළ විය.

එකල ඒ රටේ රජතුමා විසඳගත නොහැකි ගැටලුවකට මැදි ව සිටියේ ය. කුරුලු යුවළක් රාජ මන්දිරයේ තැනූ කූඩුවක ය. ඔවුනට පැටියකු ද සිටී. මා පිය කුරුල්ලෝ හැමවිට ම මහා හඩින් හඬ දෙති. එතැන නිරන්තර කලබැගෑනියකි. ඔවුන් මැදුරෙන් පිටතට ගත හැකි ද නො වේ.

මේ අතර වසීලි පිළිබඳ මේ රජතුමාට ද දත හැකි විය. අරුම පුදුම කුරුලු කරදරය විසඳීම රජතුමා වසීලිට භාර කෙළේ ය. “රජතුමනි මේ කුරුලු යුවළට දරුවා පිළිබඳ අයිතිය ගැන ගැටලුවක් ඇතිවෙලා. ඔබතුමා තීරණය දෙන්න. දරුවා කාටද?”

”පියාට”

මේ පිළිතුර සමඟ ම කුරුලු පැටවා පියා සමඟ පියාඹා ගියේ ය. මවු ඊට විරුද්ධ දිශාවට පියසැරූ විට කුරුලු කරදරය නිමා විය. අතිශය සතුටට පත් රජතුමා වසීලිට සිය රාජධානියෙන් අඩක් ද දී තම දූ කුමරිය ද සරණ පාවා දුනි.

වසීලි ඉතාමත් සතුටින් මාලිගයේ කල්ගත කරන අතර ඔහුට විදේශ සංචාරයන් හි දොලක් ඉපැදිණි. රජතුමා ඒ සඳහා සිය කළමනා සම්පූර්ණ කෙළේ ඉතා කැමැත්තෙනි.

එසේ නැව් නැගී සංචාරය කරන වසීලි එක්තරා රටක නගරයකට ගොඩ බට විට වියපත් පුරුෂයෙක් ඔහුට පැන් ගෙනැවිත් තැබුවේ රජතුමා ගේ විඩාව නිවනු පිණිස ය. ඒ හා සමඟ ම මහලු කතක් සාළුවකින් ඔහු පිස දැමුවා ය. වසීලිට එසේ සිය මාපියන් යළි මුණ ගැසිණි.

Advertisements

උස් හඩින් හැඬූ වටුවා………..

එක් වනයක උස් හඩින් හඬන වටුවෙක් විය. ඒකා දිනක් ගසක් මතට වී කල්පනාවෙන් බර වූ සිතින් නිහඬ ව සිටියේ ය. මෙවිට එක්වර ම යමක් ඒකා ගේ හිස මත වැටිණි.

”අහස කඩා වැටෙනෝ” වටුවා උස් හඩින් හඬ ගෑවේ ය. “මේ ගැන රාජාලියාට කිව යුතුයි” යැයි ද කියූ වටුවා වහා රාජාලියා සොයා දිව යන්නට විය.

අතරමඟ දී වටුවා ට වැලි කුකුළා මුණ ගැසිණි.

”මිත‍්‍රයා මොකෝ හදිස්සිය?” වැලි කුකුළා වටුවා ඇමතී ය.

”අහස කඩා වැටෙනවා. මං රාජාලියාට ඒක කියන්න දුවනවා”

”මාත් එන්නම්. යමු.” වැලි කුකුළා ද ගමනට පිටත් විය.

දෙමිතුරන් මෙසේ දිවයන අතර ඔවුනට තාරාවා හමුවිය.

”යාළුවනේ කොහේ දුවනවාද?” තාරාවා ඇසී ය.

”අහස කඩා වැටෙනවා. අප රාජාලියාට ඒ බව දන්වන්න යනවා.”

”හොඳමයි. මාත් එන්නම්”

දැන් තිදෙනෙක් දුවති. මෙසේ දිවයන්නන්ට මීළඟට රතු දුඹුරු වැලි කුකුළා මුණ ගැසේ. ඒකා ද පෙර පරිදි ම පැන විමසා ඔවුන් හා ගමනට පිටත් විය.

මේ සිව්දෙනා යති. යති. ඉදිරියට ම යති.

මෙවිට මොවුන් හමුවට එන්නේ නරියෙකි. නරියා ගේ නම ටි‍්‍රක්සි  ය.

”යාළුවනේ, හදිස්සියක්වත් ද?” නරියා ඇසී ය.

මිතුරෝ කරුණු පැහැදිලි කළහ.

නරියා ගේ කපටි නුවණ පණ ගැන්විණි. ඒකා මෙසේ කී ය. “හොඳයි, හොඳයි. රාජාලියාට කිව යුතු ම තමා. ඒත් නුඹලා පාර වරද්දාගෙන. මා සමඟ වරෙල්ලා. පාර පෙන්වන්නම්.”

මෙවිට සියල්ලෝ නරියා පසුපස ඇදුණා හ. නරියා මොවුන් කැඳවාගෙන ගියේ අන් කවර තැනකට නොව ඒකා ගේ ම නිවෙසට යි.

”මෙන්න තැන.” නරියා සිය නිවෙස ඉදිරිපිට නැවතී කී ය. “මා මුලින්ම යන්නම්. ඊළඟට එක එක්කෙනා ඇතුළට වරෙල්ලා.”

නරියා නිවෙසට ඇතුළු වූ පසු, වැලි කුකුළා ද තාරාවා ද එහි ඇතුළු වූහ. ඒ දෙදෙනාට ම සිදුවූයේ සිය ජීවිතවලින් වන්දි ගෙවන්නට යි. මීළඟට වටුවා ගේ වාරය ආවේ ය. ඒකා නිවෙසට ඇතුළු වූ සැණින් නරියා වටුවා ගේ බොටුව තද කරන්නට විය.

මෙවිට වටුවා කෙතරම් හඩින් ලතෝනි නැඟුවේ ද යත්, රතු දුඹුරු වැලි කුකුළා ද තැති ගෙන නිවෙස තුළට වැදුණේ ය. මෙයින් ඒ දෙදෙනා ගේ දිවි ගැලවිණි. අහස කඩා වැටෙන පුවත තවමත් කිසිවෙක් රාජාලියාට කියා නැත.

මැෂින්………..

දහදිය දුම් දමාගෙන
මැසිම අනයි කොන්කී‍්‍රට්
වටේ දහ පහළොවක්
නරඹති විමතියෙන් මෙන්
පෙන්වයි විසඳයි ලියයි
කොම්පියුටරය ලහිලහියේ
පුටුවලට බර දී
දනෝ නිදි කිරති සිත්සේ…….

සංගීත රාජධානිය………….

ක් රජකුට දියණිවරු සත් දෙනෙක් සිටියෝ ය. රජු ගේ බිරිය මිය ගොසිනි. මේ දියණියෝ රාති‍්‍රයේ දී අතුරුදහන් වෙති. ඔවුහු කොහේ දෝ යති. උදෑසන යළි පැමිණෙති. කිසිවකුට මේ ගමන වැළැක්විය හැකි නො වේ. එය මහා අබිරහසකි.

රජුට මේ ගමන නවත්වන්නට වුවමනා ය. එහෙත් එය කළ හැකි නොවේ. මේ අබිරහස හෙළිදරව් කර ගැනීමට එරට විසූ එක් දිළිඳු තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු සතු ව මායාකාරී තොප්පියක් තිබිණි. එය පැළැඳි විට තරුණයා නොපෙනී යයි.

පිය රජුගේ අනුදැනුමින් යුතු ව තරුණයා රාත‍්‍රි කාලයක දී මාලිගාවට ඇතුළු විය. මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. කුමාරියෝ ගමනට සූදානම් වූහ. ඔවුහු වටිනා වස්ත‍්‍ර හැඳ, වටිනා සැරසිලි කළහ. වැඩිමහල් සොහොයුරිය සිය යහන පසෙකට කළ විට එතැන අබිරහස් දොරටුවක් මතු ව ආවේ ය. මායාකාරී හිස්වැස්ම පැළඳ ගත් තරුණයා මේ සියල්ල දුටුවේය.

විවර වූ අබිරහස් දොරටුවෙන් කුමාරියෝ ඇතුළු වූහ. එතැන වූ පිය ගැට පෙළ අවසානයේ සංගීත රාජධානිය හමුවිය. එහි සංගීතය වැයේ. ඒ හඬ අතිශය මියුරු විය.

මේ රාජ කුමාරියන් හට සිය පිය රජු ගේ රාජධානියෙහි සියලු ඉසුරු තිබූ නමුත් වින්දනයට යමක් තිබුණේ නැත. පිය රජතුමා සංගීතය ප‍්‍රිය නො කෙළේ ය. එහෙයිනි මේ දූ කුමාරියන් සංගීත රාජධානිය සොයා පැමිණ තිබුණේ.

මේ රාජධානියේ රන්වන් රෝස පිපේ. තරුණයා එයින් එකක් ද නෙළා ගත්තේ රජතුමාට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නට යි.

රැය පහන් වන තුරුම මධුර සංගීත ස්වර  අසමින් ගත කළ දූ කුමාරියෝ යළි උදාසන මාලිගයට ආහ. තරුණයා ද යළි ආවේ ය. කිසි ම අයකුට ඔහු පෙනුණේ නැත.

දැන් තරුණයා ගේ වාරය යි. ඔහු සියලු කරුණු රජතුමාට හෙළි කෙළේ ය. ධනවත් වීමට නම් පාවා දීම් කළ යුතු  බව ඔහු දැන සිටියේ ය. ඔහු ගේ පාවා දීම අකුරට ම වැඩ කළේ ය.

සිය රාජධානියෙන් අඩක් ද, ළාබාල ම කුමරිය ද ඔහුට රජතුමාගෙන් තිළිණ සේ ලැබිණි. ඔහු මේ කුමරිය සිය බිරිය කොට ගෙන සතුටින් දිවි ගෙවී ය. එහෙත් කුමරිය සතුටින් දිවි ගෙව්වා දැයි කිසිවෙක් නොදනී.

අළුත් සිරිතක් වෙන්නැති…………නේද?

ඔන්න මම අද පුංචි කතාවක් කියන්න  හදන්නේ.එක ගමක හිස උදුම්මවාගත් ආරච්චි කෙනෙක් සහ ඔහුටම හරියන බිරිදක්ද හිටියා.මේ දෙන්නට හිටියේ එකම එක් දරැවයි.ඒ දියණියක්. මේ දියනියගේ පැවැත්ම එච්චර හිතකර වූයේ නෑ.මොකද කියනවනම් මේ දෙන්නට විශාල හිසරදයක් වුණේ මේ දියණියගේ කෑදරකම. ඉතින් ආරච්චිලගේ නිවස  ඉතා පොහොසත් නිවසක්නේ. ඉතින් කෑම බීමෙනුත් මෙහි කිසි අඩුවක් වූයේද නෑ .මේ දියණිය වෙලාවට කෑම ගන්නේ නෑ.ඒ වගේම තමයි පෙනෙන්නට කොච්චර කෑවත් හොරෙන්  කන  එකත් අඩුවක් වුණේ නෑ.

තම එකම දියණියගේ මේ වැඩ කටයුතු නිසා මේ දෙමහල්ලෝ මහත් වදයක් වින්දා. ගමේ අනිත් අය දැනගත්තොත්  තමාගේ ආරච්චි පට්ටමටත් ලැජ්ජාවක් කියලා නිතරම මේ ආරච්චි හා හාමිනේ  නිතරම  ඇයට කියයි. කොතරම් තරවටු කළත් අඩම් තේට්ටම් කලත් මෑගේ කෑදරකමනම් අඩු වුණේ නෑ.මැය තරැණ වීමෙන් පසුව වත් ඇයගේ මේ කෑදරකම අඩු වේයැයි සිතුවත් එය සීතු පරිදි  අඩු වූ බවක් පෙනුනේ නෑ.

මෙහෙම ටික කාලයක් යන විට මේ දියණියගේ විවාහ මංගල්‍ය ද එළඹුණා.මේ දෙමහල්ලොන්ට අවශ්‍ය වූයේ මෙකලක් ගමේ සිදු නොවූ ආකාරයට ඉතා ඉහලින් මේ දියණියගේ මංගල උත්සවය සිදු කිරිමට. ඒ අනුව පිටස්තර උසස් ධනවතුන්ට ආරාධනා කර තිබුණා. දියණියගේ වැඩ මෙයාගේ මව හොදට දනි.ඒ නිසා මෙදිනට මගුල් මේසයේ කෑම ගන්නා ආකාරය ගැන ගම හාම්නේ කියා දුන්නා.
රසවත් ආහාර වලින් මෙදින මගුල් මේසය පිරිලා තිබුණා. මංගල කටයුතු අවසන් වුණා.මේ මනාල යුවල සමග අමුත්තෝ කෑම මේසයේ වාඩිවුණා. ආරච්චිත් ගම හාම්නේත් දියණියගේ කෑම ගැනීම ගැන විමසිල්ලෙන් හිටියා.ඇය බොහෝම පිළිවෙලට කෑම කෑවා.ඉතින් මවුපියෝ ‍දෙදෙනාට මේ දියණියගේ යහපත් ක්‍රියාව ගැන ගොඩාක් සතුටට පත්වුණා.

බත් කෑමෙන් පසු අතුරැපස කෑමක් වූ කිරිපැණි කෝප්පයක් බැගින් එක් එක්කෙනාට ගෙනත් තිබුණා.ඒ අනුව මේ මනාලියටද ලැබූණේ කිරි කෝප්ප එකක්. ඒත් ඇයට එකකින් සෑහීමට පත්විය නොහැකිව තව තව කෑමේ  ආසාවක් ඇතිවුනා. එහෙත් පිරිස ඉදිරියේ කෑමට නොහැකිය. කෑමෙන් පසු මේ මනාල යුවල පිටත්ව යන වෙලාව ළගාවුණා. සියළු දෙනාම ඒ ගමන සුදානම් කිරිමට කටයුතු කළා. මේ අතර මනාලිය ඉඩ ප්‍රස්ථාව ලැබුණු විගස ගේ ඇතුළට ගොස් කෑම බීම තබා ඇති කාමරයට වැදී වටපිට බලා හොරෙන්ම කිරිපැණි පුරවා තිබුණු භාජනය පිටින්ම කටට හලා ගත්තා. මනාලිය මෙ‍හෙම කිරිපැණි කෑම නිසා කට පුරාමත් මූණ පුරාමත් කිරිපැණි තැවරැණා. එහෙත් ඇයට ඒවා පිසදමා ගැනිමට අවස්ථාවක් නොලැබුණේ මනාල යුවල පිටත්වන සුභ මුහුර්තිය එළඹී තිබුණ නිසා පිරිස යුහුසුළුව මනාලියව සොයාගෙන ගෙයි ඉදිරියට කැදවාගෙන ගිය නිසා. මනාලියගේ මුහුණෙහි තිබුණු වෙනස දුටුව අමුත්තෝ කසු කුසු ගෑමට පටන් ගත්තේය.ආරච්චිලටත් ගම හාම්නේටත් මේ දියණිය කළ දේ වැටහිණි.ඉතින් මේක අනිත් අය දැන ගත්තොත් අපිට වස ලැජ්ජාව.ඒ නිසා ආරච්චිය කල්පනා කෙරැවා.අදහසක් පහල වුණා. ආ හාමිනේ සිරිත් විරිත් එහෙම හරියට කෙරැවද .කිරි මූණේ ගෑවද යැයි හාමිනේගෙන් ඇසුවා. ඉතින් හාමිනේටත් මේ ආරචිචිගේ අදහස වැහුණී.සේරම හරියැයි කීවාය.ඊට පසුව පැමිණි අමුත්තන් මේ ගමේ අළුත් සිරිතක් වෙන්නැති කියම්න් මනාලිය යුවල කැන්දාගෙන මනාලයාගේ පාර්ශවයේ අය සමග මනාලිය  පිටත් වුණාය. බලන්න කපටිකමින් සහ තැනට සුදුසු නුවණ මේ ආරච්චි යෙදුව හැටි.

සිනහව සහ සතුට………..

අපි කොචිචර  හිනා වෙනවද?අපි හිනාවෙන්නේ සතුටට, නැත්නමි වෙන කාගෙ හරි වැරද්දක් දැකලා. අපි හිනාවෙනකොට කොතරමි ලස්සනද?ඒත් සමහර මිනිසුන් නම් මුවග සිනහවක් කිසිදාකවත් නැති තරහ මුහුණින් ඉන්නවා අපි කොතරම් දැක තීනවද? සිනහව කියන්නේ ලස්සන දෙයක්.අපි  හිනාවෙන්න ඕන. ඒත් අපි හිනාවෙන්න ඕන සතුටකදී මිසක් කාට හරි වැරදුණු වෙලාවකදී හෝ කාගේ හරි අඩුපාඩුවක් දැක්ක විටදි ‍නොවන අතර එවැනි අවස්ථා වලදී  හිනාවෙන්නේ ඔවුන්ගේ ඇති මෝඩ ගතිය නිසාවෙනි.
අපි ‍කොචිචර සතුටු වෙනවද? ඒ වගේම අපිට අන් අයට යහපතක් වූ විටදී සතුටු වන්න පුළුවන් නමි ඒක උතුමි මනුෂ්‍ය ගුණයක්. අද සමහර මිනිසුන් සිහනව කියන දේ වෙනුවට මුවේ තිබෙන්නේ නපුරැකම නැත්නමි නැත්නමි තරහ ගතිය.අද  සමහරැන් බලාගෙන ඉන්නේ අනුන්ට හිනාවෙන්න අවස්ථාවක් ලැබෙනකන්. ඒ වගේම අප රටේ සමහර මිනිසුන්ගේ සතුට ‍නැතිකරන අය අප රටේ බොහෝමයක් සිට්නවා.ඒ ඔවුන්ගේ සතුට සහ සිනහව උදුරා ගැනීමක් නොවේද? ඇයි අපි අනුන්ගේ සතුට අදුරාගෙන සිනහ වෙන්නේ?එහෙම සිනහ වෙලා වැඩක් නෑ.
ඒ වගේම තව කියන්න දෙයක් තීයෙනවා.අද සමාජෙ සමහර මිනිස්සු අන් අයට සමච්චලේට හිනා වෙනවා.ඒ හිනාවෙන අය දන්නේ නෑ තමන් මොටද හිනාවෙන්නේ කියලා?  ඒ වගේම සිනහවෙන් අයෙකු සතුටු තරන්න වගේම බය කරන්නත් පුළුවන්.අපි කවුරැත් හිනාවෙලා ඉනන්වනම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද? ඔයාලා හිනාවෙකොට කාටද? මොකටද? හිනාවෙන්නේ කියලා දෙපාරක් හිතන්න. ඒ වගේම හිනාවෙන්න ඕන හිතේ ඇතිවන අවංක සතුටත් එක්ක මිසක් අන් අයව අපහාස කරමින්, කාට හරි වැරදුණු වෙලාවකදී හෝ කාගේ හරි අඩුපාඩුවක් දැක්ක විටදි නොවේ.
හැමදාම හිනාවෙන් ඉන්න එතකොට මුළු ලෝකෙම ලස්සන වේව්……………