සංගීත රාජධානිය………….

ක් රජකුට දියණිවරු සත් දෙනෙක් සිටියෝ ය. රජු ගේ බිරිය මිය ගොසිනි. මේ දියණියෝ රාති‍්‍රයේ දී අතුරුදහන් වෙති. ඔවුහු කොහේ දෝ යති. උදෑසන යළි පැමිණෙති. කිසිවකුට මේ ගමන වැළැක්විය හැකි නො වේ. එය මහා අබිරහසකි.

රජුට මේ ගමන නවත්වන්නට වුවමනා ය. එහෙත් එය කළ හැකි නොවේ. මේ අබිරහස හෙළිදරව් කර ගැනීමට එරට විසූ එක් දිළිඳු තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු සතු ව මායාකාරී තොප්පියක් තිබිණි. එය පැළැඳි විට තරුණයා නොපෙනී යයි.

පිය රජුගේ අනුදැනුමින් යුතු ව තරුණයා රාත‍්‍රි කාලයක දී මාලිගාවට ඇතුළු විය. මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. කුමාරියෝ ගමනට සූදානම් වූහ. ඔවුහු වටිනා වස්ත‍්‍ර හැඳ, වටිනා සැරසිලි කළහ. වැඩිමහල් සොහොයුරිය සිය යහන පසෙකට කළ විට එතැන අබිරහස් දොරටුවක් මතු ව ආවේ ය. මායාකාරී හිස්වැස්ම පැළඳ ගත් තරුණයා මේ සියල්ල දුටුවේය.

විවර වූ අබිරහස් දොරටුවෙන් කුමාරියෝ ඇතුළු වූහ. එතැන වූ පිය ගැට පෙළ අවසානයේ සංගීත රාජධානිය හමුවිය. එහි සංගීතය වැයේ. ඒ හඬ අතිශය මියුරු විය.

මේ රාජ කුමාරියන් හට සිය පිය රජු ගේ රාජධානියෙහි සියලු ඉසුරු තිබූ නමුත් වින්දනයට යමක් තිබුණේ නැත. පිය රජතුමා සංගීතය ප‍්‍රිය නො කෙළේ ය. එහෙයිනි මේ දූ කුමාරියන් සංගීත රාජධානිය සොයා පැමිණ තිබුණේ.

මේ රාජධානියේ රන්වන් රෝස පිපේ. තරුණයා එයින් එකක් ද නෙළා ගත්තේ රජතුමාට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නට යි.

රැය පහන් වන තුරුම මධුර සංගීත ස්වර  අසමින් ගත කළ දූ කුමාරියෝ යළි උදාසන මාලිගයට ආහ. තරුණයා ද යළි ආවේ ය. කිසි ම අයකුට ඔහු පෙනුණේ නැත.

දැන් තරුණයා ගේ වාරය යි. ඔහු සියලු කරුණු රජතුමාට හෙළි කෙළේ ය. ධනවත් වීමට නම් පාවා දීම් කළ යුතු  බව ඔහු දැන සිටියේ ය. ඔහු ගේ පාවා දීම අකුරට ම වැඩ කළේ ය.

සිය රාජධානියෙන් අඩක් ද, ළාබාල ම කුමරිය ද ඔහුට රජතුමාගෙන් තිළිණ සේ ලැබිණි. ඔහු මේ කුමරිය සිය බිරිය කොට ගෙන සතුටින් දිවි ගෙවී ය. එහෙත් කුමරිය සතුටින් දිවි ගෙව්වා දැයි කිසිවෙක් නොදනී.

අළුත් සිරිතක් වෙන්නැති…………නේද?

ඔන්න මම අද පුංචි කතාවක් කියන්න  හදන්නේ.එක ගමක හිස උදුම්මවාගත් ආරච්චි කෙනෙක් සහ ඔහුටම හරියන බිරිදක්ද හිටියා.මේ දෙන්නට හිටියේ එකම එක් දරැවයි.ඒ දියණියක්. මේ දියනියගේ පැවැත්ම එච්චර හිතකර වූයේ නෑ.මොකද කියනවනම් මේ දෙන්නට විශාල හිසරදයක් වුණේ මේ දියණියගේ කෑදරකම. ඉතින් ආරච්චිලගේ නිවස  ඉතා පොහොසත් නිවසක්නේ. ඉතින් කෑම බීමෙනුත් මෙහි කිසි අඩුවක් වූයේද නෑ .මේ දියණිය වෙලාවට කෑම ගන්නේ නෑ.ඒ වගේම තමයි පෙනෙන්නට කොච්චර කෑවත් හොරෙන්  කන  එකත් අඩුවක් වුණේ නෑ.

තම එකම දියණියගේ මේ වැඩ කටයුතු නිසා මේ දෙමහල්ලෝ මහත් වදයක් වින්දා. ගමේ අනිත් අය දැනගත්තොත්  තමාගේ ආරච්චි පට්ටමටත් ලැජ්ජාවක් කියලා නිතරම මේ ආරච්චි හා හාමිනේ  නිතරම  ඇයට කියයි. කොතරම් තරවටු කළත් අඩම් තේට්ටම් කලත් මෑගේ කෑදරකමනම් අඩු වුණේ නෑ.මැය තරැණ වීමෙන් පසුව වත් ඇයගේ මේ කෑදරකම අඩු වේයැයි සිතුවත් එය සීතු පරිදි  අඩු වූ බවක් පෙනුනේ නෑ.

මෙහෙම ටික කාලයක් යන විට මේ දියණියගේ විවාහ මංගල්‍ය ද එළඹුණා.මේ දෙමහල්ලොන්ට අවශ්‍ය වූයේ මෙකලක් ගමේ සිදු නොවූ ආකාරයට ඉතා ඉහලින් මේ දියණියගේ මංගල උත්සවය සිදු කිරිමට. ඒ අනුව පිටස්තර උසස් ධනවතුන්ට ආරාධනා කර තිබුණා. දියණියගේ වැඩ මෙයාගේ මව හොදට දනි.ඒ නිසා මෙදිනට මගුල් මේසයේ කෑම ගන්නා ආකාරය ගැන ගම හාම්නේ කියා දුන්නා.
රසවත් ආහාර වලින් මෙදින මගුල් මේසය පිරිලා තිබුණා. මංගල කටයුතු අවසන් වුණා.මේ මනාල යුවල සමග අමුත්තෝ කෑම මේසයේ වාඩිවුණා. ආරච්චිත් ගම හාම්නේත් දියණියගේ කෑම ගැනීම ගැන විමසිල්ලෙන් හිටියා.ඇය බොහෝම පිළිවෙලට කෑම කෑවා.ඉතින් මවුපියෝ ‍දෙදෙනාට මේ දියණියගේ යහපත් ක්‍රියාව ගැන ගොඩාක් සතුටට පත්වුණා.

බත් කෑමෙන් පසු අතුරැපස කෑමක් වූ කිරිපැණි කෝප්පයක් බැගින් එක් එක්කෙනාට ගෙනත් තිබුණා.ඒ අනුව මේ මනාලියටද ලැබූණේ කිරි කෝප්ප එකක්. ඒත් ඇයට එකකින් සෑහීමට පත්විය නොහැකිව තව තව කෑමේ  ආසාවක් ඇතිවුනා. එහෙත් පිරිස ඉදිරියේ කෑමට නොහැකිය. කෑමෙන් පසු මේ මනාල යුවල පිටත්ව යන වෙලාව ළගාවුණා. සියළු දෙනාම ඒ ගමන සුදානම් කිරිමට කටයුතු කළා. මේ අතර මනාලිය ඉඩ ප්‍රස්ථාව ලැබුණු විගස ගේ ඇතුළට ගොස් කෑම බීම තබා ඇති කාමරයට වැදී වටපිට බලා හොරෙන්ම කිරිපැණි පුරවා තිබුණු භාජනය පිටින්ම කටට හලා ගත්තා. මනාලිය මෙ‍හෙම කිරිපැණි කෑම නිසා කට පුරාමත් මූණ පුරාමත් කිරිපැණි තැවරැණා. එහෙත් ඇයට ඒවා පිසදමා ගැනිමට අවස්ථාවක් නොලැබුණේ මනාල යුවල පිටත්වන සුභ මුහුර්තිය එළඹී තිබුණ නිසා පිරිස යුහුසුළුව මනාලියව සොයාගෙන ගෙයි ඉදිරියට කැදවාගෙන ගිය නිසා. මනාලියගේ මුහුණෙහි තිබුණු වෙනස දුටුව අමුත්තෝ කසු කුසු ගෑමට පටන් ගත්තේය.ආරච්චිලටත් ගම හාම්නේටත් මේ දියණිය කළ දේ වැටහිණි.ඉතින් මේක අනිත් අය දැන ගත්තොත් අපිට වස ලැජ්ජාව.ඒ නිසා ආරච්චිය කල්පනා කෙරැවා.අදහසක් පහල වුණා. ආ හාමිනේ සිරිත් විරිත් එහෙම හරියට කෙරැවද .කිරි මූණේ ගෑවද යැයි හාමිනේගෙන් ඇසුවා. ඉතින් හාමිනේටත් මේ ආරචිචිගේ අදහස වැහුණී.සේරම හරියැයි කීවාය.ඊට පසුව පැමිණි අමුත්තන් මේ ගමේ අළුත් සිරිතක් වෙන්නැති කියම්න් මනාලිය යුවල කැන්දාගෙන මනාලයාගේ පාර්ශවයේ අය සමග මනාලිය  පිටත් වුණාය. බලන්න කපටිකමින් සහ තැනට සුදුසු නුවණ මේ ආරච්චි යෙදුව හැටි.

පුංචි කතාවක්……

මෙය සිදුවූයේ ඉතා ඈත කාලයකදී ය. එක්තරා අඹුසැමි යුවළකට දරුවෝ නැත්තා හ. ඔවුහු කෙමෙන් මහලු වියට ද එළැඹුණා හ. මැහැල්ල හැමවිට ම කවුළුවෙන් පිටත බලමින් සුසුම් හෙළමින් සිටිනු දකින මහල්ලා ගේ සිත ද මහා දුකකින් පිරිණි. ඔවුනට සියල්ල තිබිණි. නොතිබුණේ සිතේ සතුට පමණි. ඒ දරුවකු නොමැති හෙයිනි.

මෙසේ හිම කාලය ද එළැඹිණි. එවිට මහල්ලා සිය බිරිය අමතා මෙසේ කීය;

”හැමදාම මෙහෙම ඉඳලා බෑ. යමු අපි මේ හිමෙන් දරුවකු තනමු. යමු.”

මැහැල්ල ගේ සිත සතුටින් පිරිණි. එය හොඳ යෝජනාවකි. ඔවුහු වහා හිම ගොඩැල්ල මැදට වැදී හිමෙන් දැරියක හිමෙන්  සෑදූහ. දැඩි ශීතය මැද හිම දැරිය සුදු නිල් පැහැයෙන් යුතු ව ගොඩ නැඟුණා ය. ඈ රච්කා යි.

පණ ලැබූ  රච්කා ද රැගෙන දෙමහල්ලෝ සිය නිවසට වන්හ. ඔවුහු ඉහවහා ගිය සතුටින් යුතු වූහ.

කලක් ගෙවිණි. ග්‍රීෂ්මය එළැඹිණි. හිම දියවිණි.

රච්කා දුකිනි. හේමන්ත මල් පිපී හාත්පස සුවඳ විහිදෙද්දී ඈ දුකින් ගෙතුළට වැදී සිටියා ය. හිරු එළිය ඈට හිරිහැරයකි.

යහළු යෙහෙළියෝ ඈ වෙත’විත් ඈ සෙල්ලමට කැඳවූහ. රච්කා අකැමැත්තෙන් මෙන් ඔවුන් සමඟ නික්මුණා ය.

යෙහෙළියෝ අසල කැලෑවට වන්හ. ඔවුහු වනමල් නෙළූ හ. මාලා ගෙතූහ. රච්කා අසල වූ කුඩා දිය කඳුර වෙත ගොසින් මහත්වූ ආශාවෙන් දිය බිඳු දෝතට ගෙන ඒවා හා සෙල්ලම් කළා ය.

මේ අතර ඇගේ මිතුරෝ ගිනිමැලයක් දැල්වූහ. එය සරුවට ඇවිලිණි. කුඩා කෙල්ලෝ ගිනිමැලය මතින් එහා මෙහා පනින්නට වූහ.

”රච්කා එන්න. එන්න. සෙල්ලම් කරමු” ඔවුන් ගේ ඇවිටිලි නිමා නොවූ තැන  රච්කා ගිනිමැලය වෙත ගියා ය. ඒ මතින් පැන්නා ය.

එවිට ඈ දිය වී කඩා හැලෙන්නට වූවා ය. ගිනිමැලය මත කුඩා වලාකුළක් සෑදිණි. එය අහසට ම එසැ වී ක්‍රමයෙන් නොපෙනී යන්නට විය.

රච්කා තවදුරටත් මෙලොව නොමැති විය.

දෙමහල්ලෝ හඬා වැළපී යමක් අවබෝධ කරගත්හ. එනම් ස්වභාවධර්මයා ට එරෙහිවීමට කිසිවකුට නොහැකි බව ය.